ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් පළමු වරට ලොව වඩාත්ම බලගතු පර්යේෂකයින් අතරට.

2021 වර්ෂයට අදාළව ලොව වඩාත්ම බලගතු පර්යේෂකයන්ගේ ලැයිස්තුවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියගේ නම ද ඇතුළත්ව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලාංකිකයකු මෙම ලැයිස්තුවට ඇතුළත් වූ පළමු අවස්ථාව මෙය ලෙස සැළකෙන අතර ලොව විශාලතම විද්‍යාත්මක පර්යේෂණ දත්ත එකතුවක් සහිත ආයතනයක් වන ‘ක්ලැරිවේට් විශ්ලේෂකයන්ගේ කණ්ඩායම’ (Clarivate™) මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ලොව වඩාත්ම බලගතු පර්යේෂකයන්ගේ ලැයිස්තුවට මෙවර මෙත්තිකා විතානගේ මහත්මියගේ නම ද ඇතුළත් කර ඇත.

මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පාරිසරික විද්‍යාව ආශ්‍රිත පර්යේෂණාගාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරිය ලෙස ද කටයුතු කරන අතර මෙම ලැයිස්තුවට නම ඇතුළත්වීම ලොවපුරා විද්‍යාඥයන් දහසකින් එක් අයකුට හිමිවන අවස්ථාවක් බව ද පැවැසේ.

විද්‍යාඥයන් විසින් විද්‍යා වෙබ්වල පළකරන ලද ගතවූ වසර 10ක කාලයකට අදාළ පර්යේෂණ පත්‍රිකා සංඛ්‍යාව සහ ඒවායේ වටිනාකම සැලකිල්ලට ගනිමින් මෙම ලැයිස්තුව සැකසීම සිදුකරන බවද තවදුරටත් සඳහන්ය.

මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය මේ සම්බන්ධයෙන් සදහන් කර තිබුණේ, ලොවපුරා විශිෂ්ටතම පර්යේෂකයන් අතර ශ්‍රේණිගත වී සිටීම ගැන ශ්‍රී ලාංකිකයෙක් ලෙස තමන් අතිශයින් සතුටු වන නමුත් එම පර්යේෂණයන්ගෙන් අපේ රට ප්‍රයෝජනයක් නොගැනීම ගැන කණගාටුවක් ඇති බවයි.