ශ‍්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයෙන් ඉදිරි වසර හතරේ ක‍්‍රීඩාවට ශක්තියක් දෙන වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකා ධජය යටතේ ඔලිම්පික් නියෝජනය කළ ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන්ගෙන් සමන්විත ශ‍්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමයේ ඉදිරි වසර හතර සදහා වන නිලධාරී මණ්ඩලය, එන්.සී.සී. ක‍්‍රීඩා සමාජයේදී මෙම ජනවාරි 15දා පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී තෝරා පත්කර ගන්නා ලදී.

ඒ අනුව ඉදිරි වසර හතර සදහා නව සභාපතිනිය ලෙස ශ‍්‍රියානි කුලවංශ ඔලී තේරී පත්වූ අතර ලේකම් ලෙස සුගත් තිලකරත්න ඔලී පත්විය. උප සභාපති ලෙස දමයන්ති දර්ශා ඔලී ද, භාණ්ඩාගාරික ලෙස නිම්මිද සොයිසා ඔලී පත්වූ අතර කමිටු සාමාජිකයින් ලෙස ජුලියන් බෝලිං ඔලී, මහේෂ් පෙරේරා ඔලී, අනුරුද්ධ රත්නායක ඔලී, රුවිනි අබේමාන්න ඔලී තේරී පත්වූහ.

ඔලිම්පික් තරග නියෝජනය කළ සියලුම ක‍්‍රීඩක ක‍්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් ලෝක ඔලිම්පියන්ස් සංගමය නිර්මාණය වි ඇති අතර ලංකාවේ ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන්ගේ එකතුවෙන් ශ‍්‍රී ලංකා ඔලිම්පියන්ස් නිර්මාණය වී ඇත.

දැනට ලංකාව නියෝජනය කරමින් ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් එකසිය දෙදෙනෙක් ඔලිම්පික් තරග සදහා සහභාගී වී ඇති අතර ඉන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හැත්තෑ තුන් දෙනෙක් දැනට ජීවතුන් අතර සිටී. එයින් ලංකාවේ දැනට පදිංචිව සිටින්නේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හතලිස් නම දෙනෙක් පමණි.

ශ‍්‍රී ලංකා ඔලිම්පියන්ස් සංගමය සිය සාමාජිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් කටයුතු කරන අතරවාරයේදී පාසල් ක‍්‍රිඩකියන්ගේ දියුණුව වෙනුවෙන්ද කටයුතු කරනු ලබයි. ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සාමාජියින් වෙනුවෙන් විශේෂ රක්ෂණ ක්‍රමයක් හදුන්වාදී ඇති අතර මේ වන විට සාමාජිකයින් විශාල පිරිසක් එයින් ප්‍රතිලාභ ලැබ තිබේ.  ඒ අතරම සමාජ සුබසාධන කටයුතු වෙනුවෙන්ද සිය කැපවීම ප‍්‍රදර්ශනය කරමින් පාසල් ක‍්‍රිඩකයින් ක‍්‍රිඩාවට යොමු කිරීමට, පරිසරය ආරක්ෂා කිරීමේ වැඩසටහන් සදහාද දායකත්වය ලබාදී ඇත. පසුගිය වසර හතර තුළදී සියලුම ක‍්‍රිඩා පාසල්වල ක‍්‍රීඩා කරන ළමුන් ඉලක්ක කරගත් වැඩසටහනක් පැවැත්වීම මෙන්ම පාස්කු ප‍්‍රහාරයෙන් පීඩාවට පත් කටුවාපිටිය ප‍්‍රදේශයේ ලමුන් වෙනුවෙන් ක‍්‍රීඩා දිනයක් සංවිධානය කිරිමද සුවිශේෂීය.

කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසර හතරක කාලයේදී ක‍්‍රියාශීලීව කටයුතු කිරීමට සිදුවූයේ වසර දෙකක් පමණක් බවත්, මේ නිසා ඉදිරි වසර හතර තුළදී වසර හයක වැඩ කටුයතු සිදුකිරීමට සිදුවනු ඇති බවත් නව සභාපතිනි ශ‍්‍රියානි කුලවංශ ඔලී නිලවරණයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය.

කොවිඩ් වංගතය සමග රටේ ජනතාව ක‍්‍රීඩාශීලී කටයුතුවලින් ඈත් වී සිටින බවත්, ඇවිදින මංතීරු ආශි‍්‍රතව ජනතාව වෙනුවෙන් ඉදිරියේදී වැඩසටහන් ක‍්‍රියාත්මක කරන බවත් ඇය සදහන් කළාය.

පසුගිය වසරේදී ඔලිම්පික් නියෝජනය කිරිම සදහා අලුතින් එක්වී ඇත්තේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හය දෙනෙක් පමණක් බවත්, ඉදිරියේදී මේ  සංඛ්‍යාව ඉහළ දමාගැනීමට සංගමයේ දායකත්වය ලබාදෙන බවත් ඇය පැවසුවාය.

පුද්ගලික අංශයේ සහ ක‍්‍රීඩාව වෙනුවෙන් අනුග‍්‍රහය දැක්වීමට අපේක්ෂාවෙන් සිටින කණ්ඩායම්වල දායකත්වයද ලබාගෙන ඉදිරියේදී ඔලිම්පික් සදහා වැඩි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිරිසක් සම්බන්ධ කරවීම සදහා ක‍්‍රීඩකයින්ට අවශ්‍ය පහසුකම් දියුණු කිරීමේ  වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මෙහිදී අදහස් දැක්වූ ශ‍්‍රි ලංකා ඔලිම්පියන්ස් නව ලේකම් සුගත් තිලකරත්න ඔලී සදහන් කළේය. ඒ අතරම පුද්ගලික අංශයේ දායකත්වය ඇතිව සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩ කටයුතු සිදුකරන බවද ඔහු කීය.

‘‘අපි ඔලිම්පියන් සංගමය ලෙස ඔලිම්පික් සහභාගීත්වය ගැන අපි කතා කරනවා. ඒ අතරම පාසල් දරුවන් අතර ක‍්‍රීඩාව ගැන උනන්දුව වැඩි කිරිමට කටයුතු කරනවා. ඔලිමිපික් ක‍්‍රීඩකයෙක් බවට පත්වීමට අවශ්‍ය අභිපේ‍්‍රරණ වැඩටසහන් අපි ක‍්‍රියාත්මක කරනවා. 2028 සහ 2032 වසරවලදී පැවැත්වෙන ඔලිම්පික් තරගවලට වැඩි ක‍්‍රීඩක කී‍්‍රීඩිකාවන් පිරිසක් සම්බන්ධ කරවීම සදහා පාසල් දරුවන් ක‍්‍රීඩාවට වැඩියෙන් යොමු කිරීමේ  වැඩසටහන් සදහා අපි දායක්තවය ලබාදෙනවා’’ මෙහිදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා ඔලිම්පියන්ස් උප සභාපතිනි දමයන්ති දර්ශා ඔලී පැවසුවාය.