රතන හිමියෝ ඉදිරි මැතිවරණයට නව ජාතික බලවේගයක් යටතේ එති – ලකුණ කොඩිය

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයට තරග කිරීම සඳහා මහා සංඝරත්නයෙන් සහ ගිහි පාර්ශ්වයෙන් සැදුම් ලත් නව ජාතික බලවේගයක් යටතේ තමන් ඉදිරිපත් වන බවත් ඒ අනුව ජන බල පක්ෂයෙන් කොඩිය සලකුණ යටතේ මෙවර මහ මැතිවරණයට තරග කිරීමට කටයුතු කරන බව ත් අතුරලියේ රතන හිමියෝ කියා සිටිති. අද (16 වැනිදා) සවස විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ ඒ බව සඳහන් කර සිටියේය.
මෙවර මැතිවරණයේදී ජන බල පක්ෂයෙන් දිවයිනේ සියලු‍ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවත් .ඉදිරි දින කිහිපය තුළ නාමයෝජනා සකසා අවසන් කරන බවත් රතන හිමියෝ අද පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියහ. තමන් වහන්සේ සහ ඥානසාර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ හිමිවරුන් කිහිප නමක් දිස්ත්‍රික්ක කිහිපයක් තුළින් තරග කරන බවත්, සුදුසුකම් ඇති දැන උගත් ගිහියන් අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් උන්වහන්සේ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසූහ.
මද්‍රසා පාසල් තහනම් කිරීම, කාති උසාවි තහනම් කිරීම, බුර්කාව තහනම් කිරීම, ඉස්ලාම් අන්තවාදය පැතිරීම වැළැක්වීමට කටයුතු කිරීම කිරීම ඇතුළු ඉල්ලීම්වලට රජයෙන් යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් මෙලෙස නව ජාතික බලවේගයක් නිර්මාණය කර මැතිවරණයට ඉදිරිපත් ඉදිරිපත් වීමට තීරණය කළ බව අතුරලියේ රතන හිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.
මාධ්‍ය හමුව සඳහා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු ස්වාමීන් වහන්සේ රැසක් ද තවත් ගිහි පිරිසක් ද එක්ව සිටියහ.