රුපියල පා කරයි.. ඩොලරයට 230ක්

මහ බැංකුව මාර්තු 7 සඳුදා සාර්ව ආර්ථික ස්ථායීතාව ශක්තිමත් කිරීම සඳහා විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලී බවක් සඳහා ඉඩ හැරියේය. ඒ අනුව අමෙරිකානු ඩොලර්යට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 230ක් දක්වා අවප්‍රමාණය කර ඇත.

ආර්ථීක විශ්ලේශකයින් පැවසුවේ රුපියල සියයට 14කින් අවප්‍රමාණය කිරීමට ගත් තීරණය ඉතාමත් කාලෝචිත බවත් එමගින් රටේ විනිමය අනුපාතිකයට නිසි අගයක් ලැබෙන බවයි. එහෙත් ඩොලරයට රුපියල් 230ක අගය නිසි අගයද යන්න ඔවුන් ප්‍රශ්නකර සිටියේය.

මෙතෙක් විනිමය අනුපාතිකය අස්වාභාවිකව 198.50ක ඉතා පහළ මට්ටමක තබාගැනීම හේතුවෙන් කළු වෙළඳපොලේ අමෙරිකානු ඩොලරයට රුපියල් 240 ත් 260ත් අතර මිලක් ගෙවීම හේතුවෙන් නිත්‍යානුකූල බැංකු පද්ධතියට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමිවී ගියේය.

මහ බැංකුව මෙතෙක් යථාර්ථ නොවූ මිලකට විදේශ විනිමය අනුපාතිකය පවත්වාගැනීම හේතුවෙන් රටට විශාල සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ද අවහිර වූ බව විශ්ලේෂකයෝ පැවසූහ.

“වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සලසනු ලැබේ,” යනුවෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳුදා සවස පැවසීය.

“විදේශ විනිමය ගනුදෙනු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි ද මහ බැංකුව අපේක්ෂා කරයි.”

සඳුදා (මාර්තු 7) එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 198.50ක් වූ අතර විකුණුම් මිල 203ක් ලෙස ගණුදෙනු විය.

මහ බැංකුව මෙම තීරණය ගනු ලබන්නේ මාර්තු 4 වන දා පැවති මුල්‍ය ප්‍රතිපත්ති තීරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් දැඩි කිරීමෙන් අනතුරුවයි.

එහිදී මේ වසරට දෙවන වරටත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100 බැගින්, පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 7.50 දක්වා ඉහළ දැමිණි.

“බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථිකයේ මෑත කාලීන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, එවැනි ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2022 මාර්තු 04වන දින පුළුල් ප්‍රතිපත්ති මාලාවක් ප්‍රකාශයට පත්කරන ලදි. ශ්‍රී ලංකා මහ බැංකුව ගෝලීය මෙන්ම දේශීය වශයෙන් ඇතිවෙමින් පවතින සාර්ව ආර්ථික සහ මූල්‍ය වෙළඳපොළ ප්‍රවණතා සමීපව නිරීක්ෂණය කරන බවට නිවේදනය කරන ලද අතර, උද්ධමනය, විදේශීය අංශය සහ මූල්‍ය අංශයේ ස්ථායීතාව ළඟා කර ගැනීමේ අරමුණින් තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවද සඳහන් කළේය.”

රටේ පවතින අස්ථාවරභාවයන් හා විනිමය අනුපාතිකය ඉතා සීග්‍රයෙන් අවප්‍රමාණය වී ඇතත් වාණිජ බැංකු වෙළදපල විනිමය අනුපාතිකයට නිසි අගයට වඩා අඩු අගයක් ගෙවීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණ අයථා ක්‍රම හරහා ශ්‍රී ලංකාවට එවීම නිසා මේ වන විට එම මුදල් නීත්‍යානුකුල මුල්‍ය පද්ධතියෙන් බාහිරව සංසරණය වීම හේතුවෙන් රජයට එම විදේශ විනිමය අහිමිවී ඇත.

ඒ අනුව 2021 වසරේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සියයට 22 කින් පහත වැටී ඇති බවට මහ බැංකු වාර්තා පෙන්නුම් කරයි. ඒ අනුව 2020 වසරේ ඩොලර් බිලියන 7.1ක් වැ පැවති විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2021 වසරේදී ඩොලර් බිලියන 5.5ක් දක්වා අඩුවී ඇත,ආර්ථික විශ්ලේශකයින් පවසන්නේ ඒ විදේශ සේවා නියුක්තිකයන් තම ප්‍රේෂණ උණ්ඩියල් වැනි අවිදිමත් ක්‍රම හරහා වැඩි මිලකට මෙරටට එවීම තුළින් එය විදිමත් බැංකු පද්ධතියට අහිමිවී ගිය බවයි.

ශ්‍රී ලංකාවේ රුපියල අවිදිමත් වෙළඳපොලේ විශාල වශයෙන් නිල නොවන ලෙස අවප්‍රමාණය වී තිබුණු බව විදේශ විනිමය තැරැව්කරුවෝ බීබීසී සිංහල සේවය සමග පැවසූහ.

රටේ පැනනැගී ඇති විදේශ විණිමය අර්බුදය හේතුවෙන් මේ වන විට රටේ බැංකු පද්ධතිය තුළ විශාල විදේශ විණිමය හිඟයක් ගටගෙන ඇති බවත් විදේශ විණිමය තැරැව්කරුවන් බීබීසී සිංහල සේවය සමග පැවසීය.

BBC