දකුණු අප්‍රිකාව පැරැදූ ශ්‍රී ලංකා කණ්ඩායම මාස 19කට පසුව එක් දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාව අයි.සී.සී. සුපර් ලීග් ලකුණු සටහනේත් පස්වන ස්ථානය දක්වා ඉහළට

තීක්ෂණගේ පන්දුවාර 10න් පළමු පන්දුවෙනුත් අවසන් පන්දුවෙනුත් කඩුලු දවාගැනීමත් තවත් වාර්තාවක්

තෙවැනි හා අවසන් එක් දින තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 78ක ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මාස 19කට පසුව පළමු වරට එක් දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය. තවද වසර 08 කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරඟාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වීමද විශේෂත්වයකි.

එම එක් දින තරගයේදී පන්දුවාර 80 කදී කඩුලු 19 ක් බිඳවැටුණ අතර ඉන් කඩුලු 16ක්ම දඟ පන්දු යවන්නන් ඉදිරියේ බිඳ වැටීමද කැපී පෙනුනි. පිරිමි එක්දින තරග ඉතිහාසයේ දඟ පන්දු යවන්නන් දෙවැනි වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබා ගත් එක්දින තරගය ලෙසද එම තරගය සටහන් වනු ඇත.
ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දී කඩුලු 9කට ලබා ගත් ලකුණු 203 යැපෙන්නට ශ්‍රී ලංකාවට හැකිවූයේ තම මංගල එක් දින තරගයට සහභාගී වෙමින් ලකුණු 37කට කඩුලු 4ක් දවාගෙන දස්කම් දැක්වූ දඟ පන්දු යවන්නා වන මහීෂ් තීක්ෂණ ප්‍රමුඛ දායකත්වය නිසාය. ඔහුගේ පන්දුවාර 10න් පළමු පන්දුවෙන්ම කඩුල්ලක් ලබා ගැනීමත් අවසන් පන්දුවෙනුත් කඩුල්ලක් දවා ගැනීමත් තවත් සුවිශේෂී ලෝක වාර්තාවක් වන බවද මෙම ලියුම්කරුගේ අදහසයි.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගෙන පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 203 ක් රැස් කළා. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චරිත් අසලංක ලකුණු 47 ක් රැස්කිරීමට සමත් වූ අතර ධනංජය ද සිල්වා ලකුණු 31 ක්ද රැස්කළා. කෙසේ වෙතත් දුෂ්මන්ත චමීර (29) හා තීක්ෂණ (10) 9වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුන ලකුණු 32ක සබඳතාවක් ගොඩනැඟීමද කැපී පෙනුනි.
කේෂව් මහරාජ් ලකුණු 38 කට කඩුලු 03 ක් ලෙස පන්දුවෙන් දස්කම් දැක්වීය.

ලකුණු 204 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 30 කදී ලකුණු 125 කට සීමා කිරීමට දඟ පන්දු යවන්නන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු බලඇණිය සමත් වුණා. දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කලසීන් ලකුණු 22කට දැවී ගියේය.

දුෂ්මන්ත චමීර සහ වනිදු හසරංග අතර කඩුලු 02 බැගින් බෙදී ගිය අතර මහීෂ් තීක්ෂන මංගල තරගයේ ප්‍රථම පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගනිමින් මෙම තරගයේදී දැක්වූ දක්ෂතාව අනුව සිය මංගල එක්දින තරගයේදී එම දස්කම දැක්වූ 4වැනි ශ්‍රී ලංකා පන්දු යවන්නා ලෙසද වාර්තා අතරට එක් වනු ඇත.

මේ අතර මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම අයි.සී.සී. සුපර් ලීග් ලකුණු සටහනේ පස්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ ප්‍රසාද ලකුණු 42 ක් සමගයි.