ජාත්‍යන්තරය ජයගත් ඔබේ කතාව අනාගත පරම්පරාවට ආදර්ශයක් – පැරාලිම්පික් ශ්‍රී ලංකා විරුවන් අමතා ඇමැති නාමල් පවසයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ ක්‍රීඩාවෙන් ලද ඉහළම ජයග්‍රහණය රැගෙන දිවයිනට පැමිණි ජාතික පැරා කණ්ඩායම අද (08) දින තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා පවසා සිටියේ ජාත්‍යන්තරය තුළ ක්‍රීඩාවෙන් ලද මෙම ජයග්‍රහණය අනාගත පරම්පරාවට ආදර්ශයක් වනු ඇති බවයි..

ජපානයේ ටෝකියෝ නුවර පැවති 2020 පැරාලිම්පික් උලෙළේ දී ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ජාතික පැරාලිම්පික් කණ්ඩායම ඊයේ දින සන්ධ්‍යාවේදී UL 455 දරණ ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ ප්‍රභූ පර්යන්තයේ රතුපලස මතින් දිවයිනට පැමිණියහ.

අද (08දා) දින ජාතික පැරාලිම්පික් කණ්ඩායම තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හමුවිය. එහිදී ඔවුන්ව පවතින වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේවලට අනුකූලව ඉතාම උණුසුම් අන්දමින් පිළිගත් අතර අමාත්‍යවරයා ඔවුන් සමග කෙටි පිලිසඳරක යෙදිණි.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

“පළමුවෙන් ම ජාත්‍යන්තර වශයෙන් ලෝක වාර්තාවක් ද සමග පැරාලිම්පික් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් සමගින් රට වෙනුවෙන් ක්‍රීඩාව වෙනුවෙන් ඔබ ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වගේම පුහුණුකරුවන්ටත් මා ගෞරවනීය ස්තූතිය පුදකරනවා.

ඒ වගේම මෙවර පැරාලිම්පික් තරගාවලියේ දී බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ හොඳම පෞද්ගලික දක්ෂතාවයන් වාර්තා කළා. ඒ පිළිබඳවත් ඉතාමත් සතුටුයි.

එළඹෙන ඉදිරි තරගාවලි ඉලක්ක කරගනිමින් දැන්ම සිටමහොඳින් සූදානම් විය යුතුයි.

ක්‍රීඩාවෙන් ඉදිරියට යන ඔබ දෙස බලා සිටින අපේ දරුවන්ට ඔබ ආදර්ශයක් වි යුතුයි. “
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ඔබේ දක්ෂතා වැඩි දියුණු කරගනිමින් සාර්ථකත්වය කරා යන ගමනේ දී ඔබ දෙස බලාගෙන සාර්ථක වෙන්න උත්සහ කරන අපේ ඊළග පරම්පරාවට ඔබ ආදර්ශයක් වෙන්න.

අපේ ඉදිරි පරම්පරාව තීන්දු තීරණ ගන්නේ සාර්ථක කතාන්දර දිහා බලලා. ජාත්‍යන්තරය තුළ ක්‍රීඩාවෙන් ජයගත් ඔබේ කතාවත් ඔවුන්ට ආදර්ශයක් විය යුතුයි.

ක්‍රීඩාවෙන් මගේ දරුවාට හොඳ අනාගතයක් තිබෙන බව පසක් වූ විට අපේ රටේ දෙමාපියන් වුණත් බියකින් සැකයකින් තොරව තමන්ගේ දරුවන් ක්‍රීඩාවට යොමු කරාවි. ඒ විශ්වාසය ඔවුන්ට ලැබෙන විදියට කටයුතු කරන්න.

ස්වයං විනය ඇතිව ක්‍රීඩාවෙන් වගේම ජීවිතය දිනන්නත් ඔබ සියලුදෙනාට මම සුබ පතනවා.

ඉදිරි තරගාවලිවලදීත් ඔබ සියලුදෙනා ඔබේ උපරිම දස්කම් දක්වමින් අපේ රට වෙනුවෙන් ජයග්‍රහණ ලබා ගනිවී යැයි මම විශ්වාස කරනවා ඒ වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා හා ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස උපරිම සහයෝගය අපි ඔබට ලබාදෙනවා“ යැයිද පැවසීය.

මෙම අවස්ථාවට පාසල් හා ග්‍රාමීය ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මැතිතුමා, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, අතිරේක ලේකම් චන්ද්‍රරත්න පල්ලෙගම, යුද හමුදාධිපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් ඒකනායක, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික යෂ්වන්ත් මුත්තෙට්ටුවගම යන මහත්වරුන් සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පාලන) කේ.පී.පී සිරිවර්ධන මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.