
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් තරුණ කණ්ඩායමක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා සංචිතය අද (12දා) ප්‍රකාශයට පත් කළ අතර, එහිදී නවක ක්‍රීඩකයින් රැසක් සංචිතයේ ස්ථාන වෙන් කර ගැනීමටසමත්වීම කැපීපෙනෙන සිදුවීමකි. මේ අතර මෙතෙක් විස්සයි20 වරම් හිමි කරගෙන නොතිබෙන ප්‍රවීන් ජයවික්‍රම සහ පුලින තරංගද වේ. කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ලෙස එක්කර ඇත්තේ දිනේෂ් චන්දිමාල් පමණි.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු සහ අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු නම් කර ඇත.
ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්වීමෙන් පසු නැවත සංචිතයේ ස්ථානයක් වෙන් කරගැනීමට සමත්ව ඇති අතර ඒ හේතුවෙන් මිනෝද් භානුකට ස්ථානය අහිමි වී ඇත.
කණ්ඩායමට ප්‍රවේගකාරී පිතිකරුවන් කිහිපදෙනෙකුම නම් කර ඇති අතර ඒ අතරින් භානුක රාජපක්ෂ සහ අවිශ්ක ප්‍රනාන්දු පසුගිය විස්සයි20 තරගවලදී එතරම් දස්කම් නොදැක්වුවද තේරීම් කමිටුව ඔවුන් කෙරෙහි තවදුරටත් විශ්වාසය තබා තිබේ. ඊට අමතරව නවක පිතිකරු චරිත අසලංකවද කණ්ඩායමට නම් කර ඇත්තේ පිතිකරුවෙකු ලෙසයි.
21 හැවිරිදි දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණද සංචිතයේ ස්ථානය වෙන් කරගෙන ඇති අතර, සංචිතයට ඇතුළත් අනෙකුත් දඟපන්දු යවන්නන් වන්නේ ප්‍රවීන් ජයවික්‍රම සහ වනිඳු හසරංගයි. අකිල ධනංජය සංචිතයට කැඳවා ඇත්තේ අතිරේක දඟපන්දු යවන්නෙකු ලෙසයි. ඔහුට අමතරව ලහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු සහ පුලින තරංග සංචිතයේ අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර තිබේ. ඔවුන් සංචිතය සමග සංචාරයට එක්වීමට නියමිතය.
වේගපන්දු යවන්නන් ලෙස නුවන් ප්‍රදීප් සහ දුෂ්මන්ත චමීර කටයුතු කරන අතර, කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස නායක දසුන් ශානක, චාමික කරුණාරත්න, ධනංජය ද සිල්වා, ළහිරු මදුශංක සහ කමිඳු මෙන්ඩිස් කටයුතු කරති.
කඩුලු රකින්නන්ගේ වගකීම පැවරී ඇත්තේ දිනේෂ් චන්දිමාල්ට සහ කුසල් ජනිත් පෙරේරාටයි.
විස්සයි20 ලෝක කුසලානය සඳහා තෝරාගත් සංචිතයට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතියද හිමිව තිබේ.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේදී ශ්‍රී ලංකාවට ඔක්තෝබර් මස 18 වනදා නැමීබියාවට එරෙහිවද, ඔක්තෝබර් මස 20දා අයර්ලන්තයට එරෙහිවද, ඔක්තෝබර් මස 22දා නෙදර්ලන්තයට එරෙහිවද තරග කිරීමට සිදුවේ. ඔවුන් එම කඩඉම ජයගතහොත් පමණක් විස්සයි20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරනු ඇත.
ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය
දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා, කුසල් ජනිත්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ප්‍රවීන් ජයවික්‍රම, ළහිරු මදුශංක, මහීෂ් තීක්ෂණ
අතිරේක – ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, පුලින තරංග