ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය සහායක ‘චානා’ සමුගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැරණිතම සාමාජිකයෙකු වන (වසර 21කට ආසන්න කාලයක් සේවය කළ) පී.එච්. දුමින්ද චානක සිල්වා හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඔහු 40 හැවිරිදි වියෙහි පසුවූ අතර දරුවන් දෙදෙදෙකුගේ (පුතා සහ දියණිය) පියෙකි.

ඔහුට කොවිඩ්-19 වැළඳී ඇත්දැයි සිදු කළ පීසීආර් පරීක්ෂණයද ඍනාත්මක වී ඇති නිසා දේහය නිවසේ තැන්පත් කිරීමට සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය හිමිව තිබේ.

ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ, ක්‍රීඩකයින්ගේ මාධ්‍ය සම්බන්ධ කටයුතු මෙහෙයවීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ චානක, ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ඒකකය තුළ වසර 18කට ආසන්න කාලයක් මාධ්‍ය සහායකයෙකු ලෙස සේවය කර ඇති අතර, 2019 වසරේ සිට මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සම්බන්ධීකාරකයෙකු වශයෙන් ස්ථාන මාරුවක් ලැබෙනතුරුම එය අකුරට ඉටු කළේය.

ක්‍රීඩා මාධ්‍යවේදීන් බහුතරයක් ‘චානා’ යන ආදරණීය නාමයෙන් හැඳින්වූ ඔහු 2000 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධව වන්නේ මාධ්‍ය සහායකයෙකු ලෙසයි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරුවන් රැසක් යටතේ මාධ්‍ය සහායක ලෙස කටයුතු කර ඇති අතර, රේ ඉලංගකෝන්, චානිකා මුණසිංහ, නිරේෂ් එලියතම්බි, චන්ද්‍රෂාන් පෙරේරා, සමන්ත අල්ගම, වජිර විජේවර්ධන, ෂේන් ​​ප්‍රනාන්දු, බ්‍රයන් තෝමස්, රජිත් ප්‍රනාන්දු, දිනේෂ් රත්නසිංහම්, ප්‍රසන්න රොඩ්රිගෝ යන මහත්ම මහත්මීහු ඒ අතර වෙති.

චානකගේ අවසන් කටයුතු අද (12දා) කළුතරදී සිදු කිරීමට නියමිතය.

‘චානා’, ඔබට srilankantimes.com අප සැම නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු.