ලංකා විදුලි බල මණ්ඩලයට කෝටි හාරදහස් හාරසීය හැටක පොල්ලක්

කොරෝනා වසංගත කාලසීමාවේ දී විදුලි පාරිභෝගිකයන් ලංකා විදුලිබල මණ්ඩලය වෙත රුපියල් කෝටි හාරදහස් හාරසීය හැටක විදුලි බිල් ගෙවීම් පැහැර හැර ඇති බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග ඔස්සේ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට වාර්තා විය.

මෙම තත්ත්වය මත වියදම් පියවා ගැනීම ඇතුළුව අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සඳහා ගැටලූ රැුසක් පැන නැගී ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.

ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් රුපියල් බිලියන 26 ක් ද, පෞද්ගලික අංශයේ තොග සැපයුම් රුපියල් බිලියන 12 ක් ද, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන රුපියල් බිලියන 4.6 ක් ද සහ ලෙකෝ ආයතනය රුපියල් බිලියන දෙකක් ද වශයෙන් මෙසේ ගෙවීම් පැහැර හැර ඇත.

ලබන වසර (2022) සඳහා ගල් අඟුරු මිලදී ගැනීමට රුපියල් කෝටි 6000ක මුදලක් අවශ්‍යව ඇති අතර ඉදිරි මාස දෙකක පමණ කාලයේ දී අවශ්‍ය වන එම මුදල සොයා ගැනීම ද මෙම තත්ත්වය යටතේ අර්බුදයකට ලක්ව ඇතැයි ද විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම විදුලි පාරිභෝගිකයන්ට යම් සහනයක් ලබා දීමේ හැකියාවක් ඇද්දැයි යන්න පිළිබඳව සොයා බැලීමට ද මණ්ඩලයේ අවධානය යොමුවී ඇති බව ද පැවසෙයි.

ලංකා විදුලිබල මණ්ඩලය සතුව ලක්ෂ හැට පහක පාරිභෝගිකයෝ පිරිසක් සිටිති.

මේ සම්බන්ධයෙන් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එම්. ආර්. රණතුංග මහතාගෙන් කළ විමසීමක දී ඒ මහතා කියා සිටියේ ගල්අඟුරු සහ අනිකුත් වියදම් පියවා ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කිරීම ඇතුළු තවත් ක‍්‍රමවේද කීපයක් ඔස්සේ කටයුතු කරමින් සිටින බවය. කෙසේ වෙතත් යථා පරිදි අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නම් පාරිභෝගිකයන් නිසි කලට වේලාවට විදුලි බිල පියවීමට කටයුතු කළ යුතු බවත් කී ඒ මහතා විදුලි බිල නැවත අයකර ගැනීම සඳහා අංශ ගණනාවක් ඔස්සේ කටයුතු කරමින් සිටින බවත් පැවසීය.