ජාතීන් අතර සමගිය ගොඩනඟන්න හොඳම මඟ ක්‍රීඩාවයි – ක්‍රීඩා අමාත්‍ය නාමල් කියයි

ක්‍රීඩාව මඟින් සියලු ජාතීන් අතර සමගිය ගොඩනැඟිය හැකි වනු ඇතැයි තමන් තරයේ විශ්වාස කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය සමග එක්ව එළඹෙන ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සමාරම්භයට දින ගණනය ආරම්භ කිරීම හා ඒ සඳහා ක්‍රීඩකයින් දිරිමත් කිරීම සඳහා පසුගිය දා කොළඹ පෝර්ට් සිටි හිදී පැවති වැඩසටහනට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ලොවම වඩාත් අවධානයෙන් බලා සිටින ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලක් වනඑළඹෙන XXIV ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2022 වසරේ පෙබරවාරි 4 වන දින බීජිංහිදී ආරම්භවීමට නියමිතය. ශීත ඍතු ඔලිම්පික් උළෙල උත්කර්ෂවත් අන්දමින් සහ විශිෂ්ට ආකාරයෙන් පැවැත්වීම සඳහා චීනය මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කරමින් සිටියි. මේ සඳහා ඔවුන් වසර හතරක් පුරා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් තිබේ.
2022 ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙල උත්සවාකාරයෙන් දිගහැරෙන අයුරු නැරඹීම සඳහා ජනතා සහභාගීත්වයෙන් යුත් සජීවී විකාශන වැඩසටහනක් පෙබරවාරි 4 වැනිදා කොළඹ තුරඟ තරඟ පිටියේ දී පැවැත්වීමට නියමිතය.මෙම සමාරම්භක උළෙල, ශ්‍රී ලංකාව සහ චීන සමූහාණ්ඩුව අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා වූ සන්ධිස්ථානයක් වන අතර එය ඉදිරියේදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය වීම සඳහා හේතු වනු ඇත.
එම අවස්ථාවේදී අමාත්‍යවරයා මෙසේ ද කීය‍.
“2022 ශීත ඍතු ඔලිම්පික් උළෙල සාර්ථකව සංවිධානය කිරීම පිළිබඳව චීන රජයට සුබ පැතුම් පිරිනමනවා. ඒ වගේම බීජිං හා ශ්‍රී ලංකාව දක්වා මෙම ශීත ඔලිම්පික් උළෙල සඳහා දින ගණනය කිරීම පිළිබඳව මෙවර ඉතා උනන්දුවෙන් කටයුතු කිරිම සම්බන්ධයෙන් ද මා ස්තූතිවන්ත වෙනවා.
ශ්‍රී ලංකාව ශීත ඍතුව හෝ හිම නොමැති උෂ්ණ කලාපීය රටක්වුවද,සෑම ක්්‍රීඩාවක්ම සැමරීම හරහා සියලු ජාතීන් අතර සමගිය ගොඩනැගිය හැකි බව අපි තරයේ විශ්වාස කරනවා. ක්‍රීඩාවේ සැමරුම් සඳහා ගිම්හාන ඔලිම්පික් හෝ ශීත ඔලිම්පික් ද යන්න වැදගත් වෙන්නෙ නැහැ. ඒ වගේම පැරාලිම්පික් ද යන වගත් මෙහිදී විශේෂ නැහැ.ඒ සඳහා කැපවීමයි වැදගත්. අපි හැමෝටම ක්‍රීඩාව මඟින් ඇති වන සබඳතාවයන් ඉතා වැදගත්.
ජාතියක් වශයෙන් අපි,දීර්ඝ ඉතිහාසයක් ඇති ක්‍රීඩා සංස්කෘතියක් තිබෙන රටක්. චීනය හා ශ්‍රී ලංකාව වඩාත් මිත්‍රශීලිව දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කරනවා. මෙම ඔලිම්පික් දින ගණනය කිරීම තුළින් ජාතීන් අතර වඩාත් හොඳ ශක්තිමත් සබඳතාවක් ගොඩනැඟීමට හැකි බව අපි විස්වාශ කරනවා.“