බංගබන්දු ජාත්‍යන්තර කබඩි ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් කබඩි ඔස්තාර්ලාට පාඩමක්

මේ දිනවල බංගලාදේශයේදී පැවැත්වෙන බංගබන්දු ජාත්‍යන්තර කබඩි ශූරතා තරගාවලියේදී ඊයේ පැවැති තරගයෙන්ද එංගලන්ත කණ්ඩායම පරදා ලකුණු 44-19ක් ලෙස විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට සමත් වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
නවකයින් බොහොමයකින් සමන්විත ශ්‍රී ලංකා කබඩි කණ්ඩායම මෙම තරගාවලියේදී ඊයේ ලබා ගත් අති විශිෂ්ඨ දෙවැනි ජයග්‍රහණයට පෙර සහභාගී වූ පළමු තරගයේදීම මලයාසියානු කණඩායමට එරෙහිව ලකුණු 53-26ක් ලෙස දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළේය.
මේ අතර මෙම බංගබන්දු ජාත්‍යන්තර කබඩි තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරගය අද පස්වරුවේ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය.
කෙසේ වෙතත් පසුගිය ජාතික කබඩි ශූරතාවලිය අතර තුර ත්‍රිවිධ හමුදාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික සංචිතයෙන් ඉවත් කර ගැනීමට ත්‍රිවිධ හමුදා කබඩි සංගම් කටයුතු කිරිමෙන් අනතුරුව මෙම ජාත්‍යන්තර තරගාවලියට තෝරා ගනු ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින්නේ ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණක් වීමද විශේෂත්වයකි.