ඉකුත් මාර්තු 16 වැන දින, කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සහ ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ ශ‍්‍රවණාගාරයේදී, සිංහලයේ සුප‍්‍රකට කවිවරයකු වූ ඇස්.මහින්ද හිමියන්ගේ 71 වැනි ගුණ සමරු උළෙලක් පවත්වන්ට යෙදුණු අතර, එයට සමගාමීව සමුද්‍ර ප‍්‍රකාශකයින්ගේ මෙහෙයවීමෙන් සංස්කරණය කරන ලද එහිමියන්ගේ කාව්‍ය-ගීත සංග‍්‍රහ විසිනවයක් ජනගත කිරීමද සිදු විය.
මෙම උත්සවයේ මුලසුන හොබවන ලද්දේ සාහිත්‍ය මණ්ඩලයේ සභාපති රඹුකන සිද්ධාර්ථ මාහිමියන් විසිනි. එකී උත්සවය අමතා ජාතික පුස්තකාල සහ ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂිකා නිම්මි දේශප්‍රිය මහත්මිය විසින් පොත්වල සංස්කරණ විශේෂත්වය ගැන දේශනයක් පවත්වන ලදී. උත්සවය මෙහෙයවන ලද්දේ වජිර ජයවර්ධන මහතා විසිනි. විශාරද දිස්නා අතපත්තු මහත්මිය සහ සඳසිරි අදිකාරි මහතා මහින්ද හිමියන්ගේ තෝරාගත් කවි ගායනා ඉදිරිපත් කළහ.
පොත්වල සංස්කාරක ආචාර්ය ඩබ්ලියු.ඒ.අබේසිංහ මහතා මුඛ්‍ය දේශනය පවත්වමින් මෙසේ ප‍්‍රකාශ කර සිටියේය.
මේ එම දේශනයෙන් උපුටා ගැනීමකි.
‘‘සකස්කඩ නොකී කට
උගේ කට හුඹස් කට’’
විසිඑක්වැනි සියවසේ ඉළිපත්තෙන් ඇතුළු වී, දශක දෙකකුත් ගෙවා සිටින අපේ දරුවන්, ඒ කියමන අසා නැතුවා වන්නට පුළුවනි. ඒ ගැන, ඒ දරුවනට දොස් කියන්නට බැහැ. මුනිදාස කුමාරතුංග, මාර්ටින් වික‍්‍රමසිංහ වැනි මහා වියතුන් බිහි කළ ගුරුගෙදර, පන්සල, පිරිවෙන වැනි පැරණි සම්ප‍්‍රදායයේ අධ්‍යාපන ආයතනවලදි, ළමයින්ගේ කටේ හැක යන්ටත්, අප සිංහලයේ පමණක් නොව, පාලි සංස්කෘත ආදී මාතෘ භාෂාවන්ගේද වචන හඬනගා කියවීම හෙවත් ශබ්දෝච්චාරණය සඳහාත්, දරුවන්ට කියවන්ට සිදු වූයේ සකස්කඩ, බුද්ධගජ්ජය, ගණදෙවි හෑල්ල සහ වදන් කවි පොත වැනි පොත්.
පැරණියන් කීවේ, ඒ පොත් කියවා නැති නම්, ඒ ඉගෙනීමෙන් වැඩක් නැති බව. මන්ද යත්, ඒ අධ්‍යාපනයේ සවිමත් පදනම දැමුණේ, අර පොත් කියවා, වැලිපිල්ලේද අකුරු ලියා හුරුවීමෙන් අනතුරුව වන බැවින්. ඒ නිසා, සකස්කඩ නොකී කට, නිකම්ම හුඹස් කටක් වීම ගැන අප පුදුම විය යුතු නැහැ. ඒ සකස්කඩ කියවූ අවධිය, ගෙවී ගොස් දැන් බොහොම කල්. ඉනුත් මෑත භාගයේදි, අපේ පොඩි දරුවන්ගේ මුව රැඳුණු පුංචි කවි කිහිපයක් තිබුණා. ඒ කවි අතර, මුනිදාස කුමාරතුංගගෙ ‘‘හා හා හරි හාවා – කැලේ මැදින් ආවා’‘ නමැති කවියත්, ආනන්ද රාජකරුණාගෙ ‘‘රෝසමලේ නටුවෙ කටූ – වනබමරෝ ඔහොම හිටූ’’ යන කවියත්, ඇස්. මහින්ද හාමුදුරුවන්ගෙ ‘‘සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණකොළ පිට්ටනියක් වගෙයි අහස අන්න බලනු කොච්චර ලස්සනද ?ට’’ යන කවියත් තිබුණා.
පසුගිය විසිවැනි සියවසේ මැද භාගය වන විට, සිංහලයේ ‘‘සකස්කඩ’’ බවට පත්ව තිබුණේ, ඒ කවි
කිහිපයයි. ඒ අනුව ඇස්. මහින්ද හාමුදුරුවන්ගෙ සමන් පිච්ච මල් ඉහිරුණු කවි පංතිය කටපාඩමින් දැන
නොසිටීම, එදවස දරුවකුගේ ලජ්ජාවට කාරණයක් වුණා.
ඒ, එදා.
අද සිංහල ළමා අධ්‍යාපනයට, මොනම සකස්කඩයක්වත් ඇත්තෙ නැහැ.
ශ‍්‍රී ලංකාවෙ වර්තමාන සිංහල ළමා සමූහයාගේම භාෂාවත්, සාහිත්‍යයත්, රසවින්දනයත් අත්පොත් තැබීම සඳහා, ඇස්. මහින්ද හාමුදුරුවන්ගේ ළමා කව් ගීත නමැති මහා නිධානය වෙත ආපසු ගමන් කළයුතු වන්නෙ, ඒ නිසා. අපගේ ළමා භාෂා සාහිත්‍ය අධ්‍යාපනය පිහිටුවා ලියයුතු එක් සවිමත් පදනමක් හෙවත් ප‍්‍රතිෂ්ඨාවක් වන්නේත්, මහින්ද හිමියන්ගේ අනල්ප වූ ළමා කාව්‍ය – ගීත සමුදාය කියා මා හිතනවා. ඇස්. මහින්ද හිමියන් ලියූ කාව්‍ය රචනා විශාල සමුදාය අතරින් සැලකිය යුතු සංඛ්‍යාවක්, ළමා කව් සහ ළමා ගීත. මෙම ළමා කාව්‍ය නිර්මාණ, උන්වහන්සේ විසින් වරින් වර පළ කරන්ට යෙදුණු කුඩා කවි පොත්වල අන්තර්ගතව තිබුණා. එම පොත් පාසල් දරුවන් අරමුණු කරගෙන ලියන ලද ඒවා බවත්, සිහිපත් කළ යුතු කාරණයක්. පසු කලෙකදි එම ළමා පද්‍ය සංග‍්‍රහයන් පාසල්වල භාවිතයට ගැනුණු බවත් ප‍්‍රකට කාරණයක්.
ළමයින් උදෙසා නිර්මාණය වී, පසු කලෙක පාසල්වලද භාවිතය සඳහා ගැනුණු එම ළමා කව් ගී, මූලික වශයෙන් පොත් පේළි තෙවගක සංගෘහිත වුණා. එම පොත් පේළි තුන තමයි, කව් මිණ, කව් මුතු සහ ළමා කව් කළඹ. කව් මිණ, පහළ බාලාංශය, ඉහළ බාලාංශය 2, 3, 4, 5 යන පංතිවලට වෙන වෙනම පොත් හයකුත්, 6, 7, 8 යන පංති සඳහා තවත් පොතකුත් වශයෙන්, පොත් හතක් හැටියට පළ වුණා. කව් මුතු පොත් පෙළ පළව ඇත්තේත්, ඒ පිළිවෙළටමයි. ඒ අතර, ළමා කව් කළඹ පොත් පෙළ, පහළ සහ ඉහළ බාලාංශ පංති දෙකත් 2, 3, 4, 5 යන පංති උදෙසාත් පොත් හයක් හැටියට පළ වුණා. එයට අමතරව, ඔවා මුතුදම, නන්දන ගීත සහ දරුනැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල යන පොත් තුනත්, උන්වහන්සේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ළමයින්ට උගන්නපු කාලයේ ලියූ දහඅට වන්නම් පොතත්
සැලකිය යුතු වන්නේද ළමා පොත් හැටියටමයි. මේ ආකාරයට, ඇස්.මහින්ද හාමුදුරුවන් ළමයින්ට ලියූ කව්
ගීත පොත් සංඛ්‍යාව විසිහතරක් වෙනවා.
මහින්ද හාමුදුරුවන්ගෙ ළමා පද්‍ය ආකෘතියෙහි දක්නා ලැබෙන්නෙ, සරල සුගම හෘදයංගම රීතියක්. උන්වහන්සේ, තමන්වහන්සේගේ නිර්මාණ හුදු පද්‍ය ප‍්‍රබන්ධ හැටියටත්, බොහෝ විට ඊටත් වඩා නිදහස් රීතියක් අනුගමනය කරමින්, ගීත හැටියටත් නිමවන අයුරු දැකිය හැකියි. ගීතාකාරයෙන් කරන ලද මෙම නිර්මාණයන්හි ඉතා සුකර වූද. සුගේය වූද, ස්වයංසිද්ධ රිද්මයක් හෙවත් ‘‘තනුවක්’’ බිහි වන ආකාරයත් පෙනී යනවා. මේ ලක්ෂණය මුනිදාස කුමාරතුංග, ආනන්ද රාජකරුණා, ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සහ මහගම සේකර යන කවීන්ගේ ළමා රචනාවලත් දක්නා ලද ලක්ෂණයක්.
ඇස්. මහින්ද හිමියන්ගෙ ළමා කාව්‍ය සහ ගීතවලට වස්තු විෂයය වන්නෙ, දරුවා වටා ඇති පරිසරයත්, දරුවාගේ පෞරුෂ වර්ධනය හා ආකල්ප සම්පත්තිය කෙරෙහි බලපාන ආගම දහම හා ගුණ දහමත්, දරුවාගේ ජාතික උරුමය සහ ඉතිහාසයත් බව පෙනී යනවා. එමගින් දරුවාගේ චරිතය හා පෞරුෂය ගොඩනඟන අතරම, එයටම ආනුශංගික වූ සෞන්දර්ය වින්දනය තීව‍්‍ර කිරිමද උන්වහන්සේ අපේක්ෂා කළා.
මේ සියල්ල, සාහිත්‍ය නිර්මාණ කාර්යයක් තරමටම, අධ්‍යාපන ක්‍රියාවලියක්ද වූ වග, විශේෂ කොට කිවයුතු කාරණයක්.
දරුවා තමා ජීවත් වන පරිසරය ග‍්‍රහණය කරන්නේ, තම නෑසියන්ද, සතා සීපාවාද, ගහකොළද, ඇළදොළද,
අහස පොළොවද යන මේ සියල්ල, ගතින් සිතින් ස්පර්ශ කිරීමෙන්. එකී මූලික සංජානනය හෙවත්
හඳුනාගැනීම තියුණු කරන්ටද, පෞද්ගලික අත්දැකීමක් බවට පත් කරන්ටද, එය අර්ථවත් කරන්ටද කවියා
ඉදිරිපත් වෙනවා. අභූතපූර්ව වූද, ඉතා රමණීය වූද, කාව්‍ය ගීත සමුදායක් බිහි වන්නේ, එතැනදි.
මහින්ද හිමියන් ඉහළ බාලාංශ පන්තියේ දරුවන් අරමුණු කරගෙන ලියූ එක් රචනයක් හඳුන්වා තිබුණේ,
‘‘මල් උයනක්’’ යනුවෙන්.
කිණිරි මල් ගහක් එහෙම, දැක්ක කෙනෙක් මේ සභාවෙ ඉන්නවද?
ඇත්ත වශයෙන්ම, භාරතයේ සිකිම් දේශයේ සිට බාල වියෙහිදීම ලංකාවට පැමිණි ටිබෙට් ජාතික සම්භවයක් හිමිව සිටි මහින්ද හාමුදුරුවන්, සාමණේර කාලයේ සිට උන්වහන්සේගෙ පරිණත අවධිය දක්වාම, සිංහල බසින් ලියූ ගැදි පැදි මහත් රාශිය අතර, සදාකාලික වටිනාකමක් ඇති නිර්මාණ පද්ධතිය වන්නෙ, උන්වහන්සේගෙ ළමා පද්‍ය නිර්මාණ මහ රාශියයි. මෙම ළමා කවි තමයි, කලින් සඳහන් කළ ළමා කව් කළඹ, කව්මිණ, කව්මුතු යන පාසල් පොත් පද්ධති තුන තුළ ප‍්‍රකාශයට පත් වුණේ. මා අපේ මෑණියන්ගෙ ගම වන ඇටියාවල පිරිමි පාසලේ ඉගෙනගත් මුල් අවදියෙදි, ඉහළ බාලාංශයේ සිට පස්වැනි පන්තිය අවසන් වන තෙක්ම, ළමා කව් කළඹේ කවි සේරම තේනුවර සහ සිංහබාහු යන ගුරු දෙපළට කටපාඩම් දුන්න බව, මෙතනදි සඳහන් කරන්නෙ, අර කවුදෝ චෝදනා කරන නොස්ටැල්ජියාවකින්
යුතුවම නෙමෙයි. ගුණපාල මලලසේකර මහාචාර්යපාදයන් නොස්ටැල්ජියා යන ඉංගිරිසි වදනට තේරුම්
දෙන්නෙ ‘‘කාන්සාව’’ කියා. මගේ පෞද්ගලික හැඟීම නම්, අපගේ ළමා කවියට මහත්ම සේවය ඉෂ්ට කළේ, සිංහලයකු නොවන සිකිම් මහින්ද හාමුදුරුවන් බව. මුනිදාස කුමාරතුංග, ආනන්ද රාජකරුණා යන විශිෂ්ට කිවිවරුන්ට මා තුළ ඇති
ගෞරවය අප‍්‍රමාණයි. ඒ වුණත් කිව යුතු බරපතළම සත්‍යය තමයි, ඇස්. මහින්ද හිමියන් ඔවුන් දෙදෙනාම අතික‍්‍රමණය කරමින් ළමා කව් – ගී නිර්මාණය කළ වග. ඒ නිර්මාණවල පැවති සිංහල වාග් රීතියත්, උන්වහන්සේ විසින් අතිශයින්ම අව්‍යාජ ආකාරයෙන් විවරණය කළ අපගේ ජාතිකත්වය, ඉතිහාසය, සංස්කෘතිය සහ පරිසරය යන කාරණාත් හේතුකොටගෙන, මහින්ද හාමුදුරුවන්ගෙ ළමා කව් – ගී අපගේ මෑතකාලීන සාහිත්‍යයේ ඉතා විශිෂ්ට තැනක පවතිනවා. බොහෝ ළමා කවිවලදි උන්වහන්සේ පළ කළ දරුවාගේම මානසිකත්වය තුළට ප‍්‍රවිශ්ට වීමේ ශක්තිය, ඇත්ත වශයෙන්ම විස්මයජනකයි.
කවියා විසින් පබඳන ලද මෙවන් රචනා රැසකම දක්නා ලද ප‍්‍රබල ලක්ෂණයක් තිබුණා. දරුවන් තමන්ගේ පරිසරය හඳුනාගන්නෙ, ඒ හා බැඳුණු නෑසිය හැඟීමකින්. හුදෙක් ඈත සිට එදෙස බලා සිටීමෙන් නොවෙයි.
මල් ගස් පෙළ නොයෙක් පාට ඇඳුම් ඇඳගත් පොඩි ළමයින් පෙළක් වගෙයි. පිච්ච පොකුරේ ඇත්තේ
නංගිගෙ පොඩි හිනාව. රෝස මලේ තිබෙන්නෙ නංගිගෙ කම්මුල් දෙකේ පාට. මේ ලක්ෂණය තව
බොහෝ පද්‍ය පන්තිවල දක්නා ලැබෙනවා. ඒ අතින් බලන විට, රාත‍්‍රිය විශිෂ්ට රචනයක්. මුලින් සඳහන් කළ
සමන් පිච්ච මල් ඉහිරුණු කවියට පසුව එන තව කවි තුනක්, මේ බලන්ඩ.
‘‘බකමූණෝ පියාඹතී
අනික් කුරුල්ලෝ නිදතී
බෝ අතුවල එල්ලීගෙන
මාවවුලෝ කෑ ගසතී
‘‘මගෙ සුරතල් අක්කාගේ
මාලේ මුතු ඇට වාගේ
මේ වැටෙන්නෙ පිනි බින්දුත්
හදමු එකක් ඒ වාගේ’’
‘‘අහසේ තරු වැල් පිරිලා
පොළොවේ සුදු මල් පිපිලා
මඟුල් ගෙවල් දෙකක් වගෙයි
මේ දෙපලම හැඩ ගැහිලා’’
‘‘බකමූණෝ පියාඹතී’’. දැන් ඉන්න ළමයින්ගෙන් කී දෙනෙක් බණමූණෙක් – බස්සෙක්- දැකල
තියෙනවද ? දැන් අපේ කැළෑ ටික බහුජාතික සමාගම්වලට සින්නක්කරේටම දුන්නට පස්සෙ, එක්කෝ
බණමූණන් වඳ වෙලා. එහෙම නැත්නම්, රට අතහැර ගිහිල්ලා.
මහින්ද හාමුුදුරුවන්ගෙ කවියෙ සඳහන් වෙන මාවවුලන්ගෙන් – ඒ කියන්නෙ ලොකුම වවුලන්ගෙන් –
බහුතරය නම්, මේ දවස්වල ඉන්නෙ පාර්ලිමේන්තුවෙ. පොඩි වවුල්ලූ පළාත් සභාවල සහ ප්‍රාදේශීය සභාවල
ය.
මහින්ද හාමුදුරුවන් අපේ ළමා සාහිත්‍යයට දායාද කළ ඒ විශිෂ්ට රචනය අවසන් කරන්නෙ, තරුවැල් පිරුණු
අහසත්, සුදුමල් පිපුණු පොළොවත් මඟුල් ගෙවල් දෙකක් හැටියට උපමා ගන්වමින්. ඔය කියන එක
මඟුලක්වත් මේ දවස්වල අපේ රටේ හද්දා පිටිසරවත් දැකගන්ඩ නැති තරම්. ඉදිරි කාලයේදි, ඔය කියන
,මඟුල් ගෙවල්, ගැන අපේ ළමයින්ට ඉගෙනගන්ඩ සිදුවන්නෙ, සමාජ විද්‍යාඥයකුගෙ පොතකින් විතරයි. අද
ගෙවල්වල මඟුල් නෑ. මඟුල් තියෙන්නෙ, තමතමන්ගෙ ආර්ථික සමාජ මට්ටම්වල හැටිහැටියට පවත්වන
හෝටල්වල හෙවත් ඊනියා සාද නිකේතනවල ය.
දැන් අපි නැවතත් අපේ මාතෘකාවට බහිමු.
මහින්ද හිමියන් ස්වභාව සෞන්දර්යය විෂයය කරගෙන රචිත බොහෝ රචනාවල දක්නට ලැබෙන්නෙ, ‘‘රාත‍්‍රිය’’ නමැති කව් පෙළෙහි එන රීතියමයි. පරිසරයේ හෙවත් ජගත් සෞන්දර්යයේ ආශ්චර්යය, කවියා විසින් දරුවන්ගේ විෂය පථය තුළට ගෙන එනු ලබන්නෙ, අර බලන්නැයි අණවමින් නොව, ඒ ආශ්චර්යය හා දරුවා ඥාති සම්බන්ධයකින් මෙන් එකට බැඳ තැබීමෙන්. මෙය, ළමා සාහිත්‍ය නිර්මාණයේ අතිශයින්ම වැදගත් සාධනීය ලක්ෂණයක්. පාන්දර වැටෙන පිනි කැට දරුවා දකින්නේ, තමාගේ සුරතල් අක්කාගෙ මාලේ මුතු ඇට වගෙයි. ඒ මොහොතේම, ඒ පිනිකැට දරුවාගේ විෂයය ලෝකයෙන් තමා සතුකරගන්නා වූද, තමා ආදරය කරන්නා වූද දෙයක් බවට පත් වෙනවා. වැටෙන පිනිබිඳුවල සොබා අසිරිය, අක්කා කෙරෙහි ඇති ආදරය හා යා වන විට, කවියෙන් ලබන වින්දනයද අතිශයින් තීව්ර වෙනවා. මේ
ආකාරයෙන් සාහිත්‍ය රස වින්දනයට හුරු වන දරුවා, උසස් සාහිත්‍යයට වඩ වඩාත් සමීප වන්ට පටන්ගන්නවා. අවිඥානකව මෙන්, සාහිත්‍ය රස වින්දනය තම ජීවිතයේ කොටසක් කරගන්නවා. මහින්ද හාමුදුරුවන් ස්වභාව සෞන්දර්යය ගැන ප‍්‍රබන්ධ කළ ළමා කව් – ගී, දරුවාගේ සාහිත්‍ය රස වින්දනයේ සවිමත් අඩිතාලමක් – පදනමක් – වෙන්නෙ, ඒ ආකාරයට.
සාහිත්‍ය රස වින්දනය, දරුවා ලෝක විෂයය පිරිසිඳ දැනගැනීමේ කාර්යයෙහිදි, තමාගේම අත්දැකීමක්,
පෞද්ගලික කාර්යයක්, සමීප සබඳතාවක් ඇති ක‍්‍රියාවලියක් විය යුතුයි. එය දරුවාගේ පෞරුෂ වර්ධන
ක‍්‍රියාවලියේ අනිවාර්ය අංගයක් බවට පත් කරලිය හැකි වන්නේ, එවිටයි.
ස්වකීය ළමා පද්‍ය රචනයෙහිදී මහින්ද හිමියන් කවි බස යොදාගන්නේ, අතිශයින්ම ජීවමානාකාරයෙන්. ඒ
සජීවිබවට හේතු වන කාරණා අතර, සිංහල බසෙහි ව්‍යංජන ගුණයත්, වාග් රටාවනුත් එහිමියන් විසින් පිරිසිඳ
දැන සිටි ආකාරය සටහන් කිරීම යුතුකමක්. ඊටද අමතරව, අපේ සම්භාව්‍ය කවි බස මෙන්ම ජනකවි බසද
ඉතා සීරුවෙන් හැදෑරීමෙන්ද, ඒ දෙබසම නිර්මාණශීලි ලෙස වහරමින්ද, උන්වහන්සේගේ කවි බස
නිර්මාණය වූ වග පෙනී යනවා.
ළමා කවිය හා ගීතය සාහිත්‍ය ක‍්‍රියාවලියක් තරමටම, අධ්‍යාපන ක‍්‍රියාවලියක්ද වන බව මා මුලින් සදහන්
කළා. මේ කාර්යයන් දෙකේදීම අවශ්‍ය වන මූලික දෙයක් තමයි, දරුවන්ගේ ආකල්ප නිවැරදි කිරීම හෙවත්
ඔවුන්ගේ ආකල්ප සම්පත්තිය. එහෙම නිවැරදි කොට වර්ධනය කරන ආකල්ප සමුදාය හේතුකොටගෙනයි,
දරුවා තමන්ගෙ විෂය ලෝකය වටහාගන්නෙ. ජීවිතයේ අර්ථාන්විතබව මඳින් මඳ ප‍්‍රත්‍යක්ෂ කරන්නෙ.
මෙම දෘෂ්ටියෙන් විමසා බැලිය යුතු රචනා මහත් රාශියක්, මහින්ද හිමියන්ගෙ පන්හිදෙන් බිහිව තිබෙනවා.
ඉතාම ප‍්‍රබල නිදසුනක් හැටියට, ‘‘යුතුකම’’ නමැති රචනය ඉදිරිපත් කරන්ට මා කැමතියි. ඉතා
සුප‍්‍රකට මෙම කව් පෙළෙහිදී අඹ ඇටයක් සිටුවන මහල්ලාගෙන් ළමයෙක් මෙහෙම ප‍්‍රශ්නයක් අහනවා.
‘‘දුක සේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්ට ලැබේවිද’’
මානව වර්ගයාගේ පැවැත්ම උදෙසා, එක් පරම්පරාවක් විසින් ඉටු කළ යුතු යුතුකම් සම්භාරය – කළයුතු
වන පරිත්‍යාගය – ළපටි වියේ සිටින මේ දරුවා දන්නේ නැහැ. මහල්ලා එය දරුවාට කියා දෙනවා.
‘‘මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටු කොට තබනෙමි’’
එහෙත් මහල්ලාගේ පිළිතුරෙන් දරුවා සෑහීමට පත් වන්නෙ නැහැ. එසේ නොවන්නෙ, මෙතැනදි, යුතුකම
කියන සංකල්පය කුමක්දැයි ග‍්‍රහණය කරගන්ට ඔහු අසමත් වන නිසා. ‘‘යුතුකම’’ කියන්නෙ, හුදෙක්
මනෝමූලික දෙයක්. එහි අර්ථලාභය කුමක්දැයි දරුවාට වැටහෙන්නේ නැහැ. ඒ නිසය, ඔහු තවත්
ප‍්‍රශ්නයක් අහන්නෙ.
‘‘තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොම තේරේ මට’’
තමන් අතට ටෙන් පර්සන්ට් කොමිස් එකක්වත් ලැබෙන්නෙ නැති සංවර්ධනය මොන එහෙකටද ? ඒකත්,
නිකම්ම නිකම් ගොඩිගල් කොන්ක්‍රීට් සංවර්ධනයක් වන කොට.
දරුවාට, ඊට වැඩි චින්තනයක් නැහැ. ඔහුට ඊට වැඩි දෙයක් වටහාගැනීම අසීරුයි. ‘‘යුතුකම’’ නමැති
සංකල්පය මිනිස් වර්ගයාගේ යහපැවැත්මට අවශ්‍ය වන්නාවූ ප‍්‍රයෝගික ක‍්‍රියාවලියක් බැව්, දරුවා
වටහාගන්නේ මහල්ලා එය මේ ආකාරයෙන් දැක්වූ පසුවයි.
‘‘පෙර උන් අය සිටවූ අඹ ගස්වල
පලයෙන් අපි කවුරුත් ලබනෙමු පල
අපෙන් පසුව එන අයටත් එම පල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම’’
යුතුකම යනු, හුදු මනෝමූලික සංකල්පයක් නොව, අතිශයින්ම ප‍්‍රායෝගික වූ මානව ක‍්‍රියාවලියක් බව දරුවා
වටහාගන්නේ, එය, මෙම රචනයෙහි එන අනුභුතියෙහි පිහිටුවා දැක්වූ විටදි. දරුවන්ගේ ආකල්ප සම්පත්තිය
කෙරෙහි මහින්ද හිමියන්ගේ කව් – ගීවල බලපෑම ඉමහත්. එය ගුණධර්ම වර්ධනයට බලපෑම් ඇති
කරන්නේ, අතිශය නිර්මාණාත්මක රීතියකින්. රමණීය ආකාරයෙන්.
මහින්ද හිමියන් ලියූ තවත් බාහෝ කවි කතන්දර දරුවන්ගේ ආකල්ප වර්ධනය කෙරෙහි බලපානවා. ඇත්ත
වශයෙන්ම, අපගේ ජාතියට අවශ්‍යව සිටි ගුණධර්මවලින් සපිරි නිවැරදි ආකල්පවලින් යුතු දරුපරපුරක් බිහි
කිරීමේ කාර්යයේදි, මහින්ද හිමියන් අපේ ජාතියට ඉටු කළ මෙහෙවර සදානුමරණීයයි. මේ වැනි අසම්පූර්ණ
දේශනයකින්, ඒ කටයුත්ත ලියා කියා අවසන් කරන්ට බැහැ.
මීට අවුරුදු අසූවක් තරම් ඉහතදි, අපේ රට තමන්ගෙ මවුබිම කරගෙන කවි ලියූ මහින්ද හිමියන් කියා
සිටියේ, අපේ මහ ගංගා සියල්ලම, පිරුණු සිහිල් දියෙන් යුතුව ගලාගෙන ගිය බව. අද ඒ ගංගා සියල්ලම
පොඩි වැස්සකටත් උතුරා පිටාර ගලා මහ ගංවතුරක් එනවා. සති දෙක තුනක නියඟටත්, මේ ගංගා වියළී
ගොස්, අපේ මිනිසුන්ගෙ ගොවිතැන්බත් පාළු කරනවා. අද අපට අව්වැසි දෙකම ලැබෙන්නෙ, අකලට
විතරමයි. දැන් අපට ආපදාවලටම වෙන් කරපු අමාත්‍යංශයකුත් තියෙනව. මේ මහ පොළෝ මෑණියන්ගෙ
හොඳම දියණිය සිරිලක බවයි, එදා උන්වහන්සෙ කිව්වෙ. හැම දෙනාම ඒ දියණියට ආදරය කරන්ට
පොරකෑවෙ, ඒ නිසයි. මහින්ද හිමියන්ගෙ කාලෙ හිටපු සිරිලකේ ඒ ආදරවන්තයින් හැමදෙනාම අද
පොරකන්නෙ – තරඟ කරන්නෙ – ඒ හොඳම දියණියගෙ රීරි මාංසය උරා බොන්ඩ. අපේ මුහුද, අපේ
වරාය, අපේ භූමිය, අපේ ව්‍යාපාර, මේ සේරම කොල්ල කන්ඩ. ඒක තමයි, මිහි මවගෙ හොඳම දියණියට අද
සිදුව ඇති වින්නැහිය. ”
උපුටා ගැනීම අවසන්.