ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් අද කොළඹ වංචා විමර්ෂණ ඒකකයට කැඳවයි

2016 වසරේදී සිදුකරන ලදැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (එන්.ඕ.සී.) වත්මන් ප්‍රධාන ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාට අද (24දා) දින පෙ.ව. 9.00 ට කොළඹ වංචා විමර්ෂණ ඒකකයට (CFIB)පැමිණෙන ලෙස දන්වා ඇත.
මාගම්මන, දෙහිඕවිට පදිංචි එම්.එච්.යුසූෆ් නම් තැනැත්තෙකු විසින් 2021.12.02 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශණ ඒකකයට කරන ලද පැමිණිල්ලකට අනුව එන්.ඕ.සී. ලේකම්වරයා මෙසේ අද දින පෙරවරුවේ කැඳවා ඇති අතර 2016 වසරේ රියෝ ඔලිම්පික් උළෙලට අදාළව මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදුකර ඇති බවට එකී පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පැවැසේ.
එනම් 2016 වසරේදීද ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළ මැක්ස්වෙල් ද සිල්වා සහ එවකට එන්.ඕ.සී. සභාපතිවරයා ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු යන දෙදෙනා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් (අයි.ඕ.සී.) රුපියල් 1,425,159.00 (ඇමරිකානු ඩොලර් 10,000.00) බැගින් 2016 මාර්තු 14 දින ලබා ගෙන
ඇත. ඊට අමතරව එන්.ඕ.සී. යෙන්ද වෙනමම ගමන් සහ නවාතැන් ගාස්තු සඳහා එම මුදල් 2016 වසරේ රියෝ නගරයේ පැවැති ඔලිම්පික් උළෙල සඳහාම ලබා ගෙන ඇතැයි අදාළ පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත.
ඒ අනුව එකම කාර්යයක් සඳහා එම ආයතන ද්විත්වයෙන්ම මුදල් ලබා ගෙන ඇති බව පෙන්වා දෙන පැමිණිලිකරු වැඩිදුරටත් සදහන් කරන්නේ එසේ ලබා ගත් මුදල් දෙදෙනා විසින්ම වසරකට වැඩි කාලයක් තමන් විසින් වංචනික ලෙස රඳවාගෙන මෙම මහජන පොදු ආයතනයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කර අවභාවිතා කොට නැවත භාරදී ඇති බව
විගණන වාර්තාවෙන්ද නිරීක්ෂණය වී ඇති බවයි.
අංක182, ඇල්විටිගල මාවත, කොළඹ 8 ස්ථානයේ පිහිටි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත අද කැඳවා ඇති මැක්ස්වෙල් ද සිල්වා ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඔවුන් ඉන් අනතුරුව අධිකරණයට කරුණු වාර්තා කරනු ඇතැයිද පැවැසේ. තවද සිල්වා මහතාගෙන් පසුව විගණකාධිපතිවරයාගේ ප්‍රකාශයක්ද සටහන් කරගැනීමට නියමිත බවද වාර්තා වේ.