ආසියාවේ යොවුන් ක්‍රිකට් ඔටුන්නට ඉන්දියාව සමගින් ශ්‍රී ලංකාව හැප්පෙයි

අනාගත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රජවරුන් බිහි කරන වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා සටනට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමත් විය. ඒ අනූව 2021 වසරේ අවසන් දිනයේදී (31 දා) ආසියානු යොවුන් ක්‍රිකට් ඔටුන්න වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඩුබායි හිදී තරග වදිනු ලබයි.
අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව විසින් පාකිස්තානය පරාජය කරමින්ද ඉන්දියාව විසින් බංග්ලාදේශය පරාජය කරමින්ද අවසන් සටනේ අවස්ථාව හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් සටනට පිවිසෙද්දී ඉන්දියාව එක් තරගයක් පළමු වටයේ පරාජයට පත්විය.
දුනිත් වෙලගෙදර විසින් ශ්‍රී ලංකා යොවුන් පිල මෙහෙයවනු ලබයි. එහු ශාන්ත ජෝශප් විදුහලේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.
පුහුණුකරු ලෙස අවිශ්ක ගූණවර්ධනගේ පැමිණීමත් සමග ජයග්‍රාහී රැල්ලක නිරතව සිටින ශ්‍රී ලංකාව ආසියානු කුසලානට පෙර එංගල්නතය සහ බංග්ලාදේශය පරාජය කරමින් ප්‍රබල ජයග්‍රාහී මානසිකත්වයට අවතීර්ණ වී සිටි අතර එය ඔවුන්ට අවසන් මහා තරගය ජය ගැනීමටද මනා පිටිවහලක් වනු ඇත.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ බොහෝ ක්‍රීඩකයන් යොවුන් කණ්ඩායම හරහා පැමිණ සුපිරි හපන්කම් දැක්වූ අතර මෙම අවසන් මහා තරගය ක්‍රීඩා කරන යොවුන් ක්‍රීඩකයන්ද අනාගතයේ එලෙස වනු ඇතැයි විචාරක මතය වේ.