කොරෝනා නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් වසා දමයි

දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක කොරෝනා රෝගීන් මතුවීම හේතුවෙන් ඇති වී තිබෙන අවධානම් තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දින පහකට වසා දැමීමට තීරණය කර තිබේ. ඒ අනූව ලබන සතියේ සඳුදා යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවෘත කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විවිධ සේවාවන් සඳහා කොරෝනා රෝගය පැතිර යන සේවකයන් පැමිණීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය. “කොරෝනා රෝගයේ ව්‍යාප්තය වැඩි වී තියෙනවා. මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු තරගාවලියක් සංවිධානය කරන්නත් නැහැ. ඒ නිසා ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු විවිධ ප්‍රදේශවලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවයට පැමිණෙන අය ඉන්නවා. මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කිසිම සේවකයකුට කොරෝනා වැළඳී නැහැ. නමුත් අවධානමක් තියෙන නිසි අපි ලබන සඳුදා දක්වා ක්‍රිකට් ආයතනය වසා දැමුවා.”
උද්ගතවී ඇති තත්ත්වය අනූව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කිරීමට නියමිතව තිබු වයස අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලි අවසන් පුර්ව තරගය සහ අවසන් මහා තරගයද දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. මීට අමතරව සභාපති කුසලාන පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියද කල් දමා ඇත.
“මේ තත්ත්වය අනූව අපි සියලුම තරගාවලි කල් දැමුවා. එල්.පී.එල්. තරගාවලියත් පවත්වන්න පුළුවන් කමක් මේ තත්ත්වයත් එක්ක නැහැ. ඒ වගේම මේ වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පවත්වන්නත් බැරි වේවි. අවධානමක් ගන්න බැරි නිසා තමයි මේ තීරණය ගත්තෙ. අපි ඉදිරියේදී තත්ත්වය සලකා බලලා කරන්න පුළුවන් මොකද්ද කියලා සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා. දැනට තරගාවලි පවත්වන දිනයක් කියන්න බැහැ.” යැයි මොහාන් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසයේ දෙවැනි අදියර මේ වන විට ශ්‍රී ලංකාවේ පැතිරෙමින් තිබේ. පසුගිය කාලයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද දින කිහිපයකට වසා දැමීමට සිදුවිය. ඒ අනූව ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කිරීමට නියමිත තරගාවලි කිහිපයක් පැවැත්වීමට දින වෙන් කර ගැනීමේ ගැටලුවක්ද මේ වන විට පැන නැගී ඇත.
කණ්ඩායම් හතරක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබු සභාපති කුසලාන එක්දින තරගාවලිය ලබන 14 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි. එම තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්වල නායකත්වයට දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්. නිරෝෂන් දික්වැල්ල සහ දසුන් ශානකට ලබා දී තිබේ. කණ්ඩායමකට ක්‍රීඩකයන් 14 දෙනා බැගින් 56 දෙනකු තරගාවලියට ඇතුළත් කර තිබුණි.
මේ අතර වයස අවුරුදු 23 න් පහළ තරගාවලියේ අර්ධ අවසන් පුර්ව තරගය සහ අවසන් මහා තරගය උද්ගතවි ඇති තත්ත්වය සමනය විමෙන් පසුව ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම්ද දින කිහිපයකට නවතා දැමිමට සිදුව ඇත. කෙසේ වෙතත් සියලුම ක්‍රීඩකයන්ට නිවසේ සිට සිය පුහුණුවීම් හැකි ආකාරයට කිරීමට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.