ඔලිම්පික් බලධාරීන් ලංකාවට ගෙන එන්නේ පන්දම් හා යෂ්ටි පමණි පදක්කම් නැත

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනි දින එංගලන්තයේ බකිංහැම් මාලිගය අසලින් ගමන් ඇරඹූ රැජිනගේ යෂ්ටිය එතැන් සිට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 72ක ගමන් කරන අතර 25 වැනි ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබුනි. ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර මාලදිවයිනේ සංචාරය කළ රැජනගේ යෂ්ටිය යුරෝපය, අප්‍රිකාව, ආසියාව, ඕෂනියා, කැරිබියන් සහ අමෙරිකාව ආදී රටවල දින 269ක් පුරා කිලෝමීටර් 140,00ක දුරක් ආවරණය කළේය.
මේ වසරේ පැවැත්වෙන බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ සමාරම්භක දිනයේ ක්‍රීඩා පිටියට රැගෙන එන රැජිනගේ යෂ්ටිය පසුගිය 3දා ශ්‍රී ලංකාවේ ගමන් ආරම්භ කළ අතර මේ මස 6 දා එම යෂ්ටිය ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන තෙක් ඊට සම්බන්ධ නිල ක්‍රියාකාරකම් ජාතික ඔලිම්පික් කමිටුව, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව සංවිධානය කර තිබුණි.
ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සංගමයේ සභාපති ලෙස කටයුතු කරන ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රභූන් විසින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී රැජනගේ යෂ්ටිය නිල වශයෙන් පිළිගනු ලැබූ අතර සුරේෂ් සුබ්‍රමනියම් මහතා පැවැසූවේ රැජිනගේ යෂ්ටිය ගමන් ගන්නා ඓතිහාසික ගමන් මගේ ශ්‍රී ලංකාව කොටසක් වීම ගැන සතුටු වන බවයි. එය පොදු රාජ්‍ය මණ්ඩලය පුරා සිටින ජනතාවට ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ඉස්මතු කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට හොඳම අවස්ථාවක් බවද ඔහු පවසා තිබුණි.

නමුත් ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගැන කතා කරනා මොවුන්ගේ වැඩ කෑල්ලෙහි ඇති අසුන්දරත්වය ඔවුන්ටම නොපෙනීමයි. එක් අතකින් බැලූ විට ඒවා වැරැදි ලෙස නොපෙනෙන අයුරින් හැසිරෙන්නේත් ඔවුන්ගේ වාසියටමය. සුන්දරත්වය අගයනවාය කියන මෙම ජාතික ඔලිම්පික් කමිටු (එන්ඕසී) බලධාරීන්ගේ අශිෂ්ඨ කෙරුවාවන්ට දශකතුන-හතරක ඉතිහාසයක් ඇතත් වර්තමානයේ ඔවුන්ගේ වැඩ පිළිබඳව සහතිකයක් දෙන්නට පසුගිය 2021 ටෝකියෝ ඔලිම්පික් සිට අද දක්වා මාස 5ක කෙටි කාලය තුළ පමණක් කරපු සෙල්ලම් හොඳටම පුමාණවත්ය.
රට නියෝජනය කරමින් වසර හතරකට වරක් පැවැත්වෙන ඔලිම්පික් උළෙලකට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නිල ඇඳුම පිළිබඳව වත් තැකීමක් නොකළ මෙම ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් දැන් රටේ සුන්දරත්වය ගැන කතා කිරීම විහිළුවකි. හේතුව පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 72 ඉදිරියේ පමණක් නොව ඔලිම්පික් නියෝජනය කරන ජාත්‍යන්තරයේ රටවල් 205ක් ඉදිරියේ ශ්‍රී ලංකාව පිළිබඳව තිබූ සුන්දර නාමය දියාරු කරන්නට මෙකී පාලකයින්ගේ පසුගිය දශක දෙකක පමණ කාලයේ කෙරුවාව සමත් වූ නිසාය. 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී දී ශ්‍රී ලංකාව රිදී පදක්කමක් දිනා ගනිමින් 64 වැනි ස්ථානයට පත්වූ අතර එදා ඉන්දියාව ලෝකඩ පදක්කමක් පමණක් දිනා 71 වැනි ස්ථානයට පත්විය. එහෙත් මෙවර සමස්ථ පදක්කම් 7ක් (රන්1යි, රිදී 2යි, ලෝකඩ 4යි) දිනා රටවල් 205ක් අතරින් ඉන්දියාව 48 වැනි ස්ථානයට පත්වන විට මීට දශක දෙකකට පෙර ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාව මෙදා හිස් අතින්ම ගෙදර ආවේය.
මෙය අසල්වැසි රටට සාපේක්ෂව පසුබෑමේ එක්උදාහරණයක් පමණි. ඒ අනුව බැලූ විට මෙකී පාලකයින් හැමදාමත් කළේ ඊළඟ වසර හතර තුළ ජාත්‍යන්තරයට සුදුසු ක්‍රීඩක සම්පත් නිර්මාණය කිරීමට උරදෙනවා වෙනුවට වසර හතරකින් පසුව එළැඹෙන ඊළඟ නිලවරණයට සූදානම් වීමය. තවත් විදියකින් කිව හොත් ක්‍රීඩකයින්ගේ දක්ෂතා වර්ධනය කරගැනීම සඳහා ශිෂ්‍යත්වයක් ලබා දෙනවා වෙනුවට ඡන්දය ලබා ගැනීමට අල්ලසක් ලෙස සංගම්වල සමහර නිලධාරීන් සහ හිතවතුන් පිට රට වන්දනාවේ රැගෙන යාමය. ගෙවී ගිය දශකයක පමණ කාලය තුළ මෙම සෙල්ලම කිසිදු ලැජ්ජා බයකින් තොරව කරගෙන ගියෝය. එසේ කළේ ක්‍රීඩාවේ මහ ගෙවල් ලෙස සැළැකෙන අමාත්‍යංශයේ සහ ක්‍රීඩා සභාවේත් මහ පුටුවල සිටිනා මහත්වරුන්වත් අන්දාගෙනය. එසේත් නැත්නම් “ අපි අයිඕසී.යට පමණක් වගකියන ස්වාධීන කමිටුවක් යැයි“ බෙර පදය පෙරට දමාගෙනය. රටේ අවාසනාවට මෙන් මේ වැරැදි සද්දය තේරුම් ගැනීමට වගකිව යුතු පාලකයින් තවමත් අසමත්ය.
එහෙත් එන්ඕසි. ය මෙවර හොට බිම ඇණගත්තේ හැමදාමත් අපි ස්වාධීන යැයි නමින් පොරොවාගෙන සිටි සළුව ශ්‍රී ලංකාවේ අධිකරණය ඉදිරියේ ඔවුන්ට ගලවා දමන්නට සිදුවූ නිසාය. එනම් පසුගිය මාසයේ පැවැති එන්ඕසී. නිලවරණයට අදාළව ඡන්දය භාවිතා කිරීමේදී පාපැදි සහ හෑන්ඩ් බෝල් නියෝජනය කරමින් අභිනවයෙන් පත්වූ පාලකයින්ට ඡන්ද අයිතිය නොදී පැරැණි ඔවුන්ට හිතැති පිරිස් සඳහාම ඡන්ද අයිතිය ලබා දීමට වත්මන් එන්ඕසී පාලකයින් වළි කෑවේය. එහෙත් මෙම අකටයුත්තට එරෙහිව ඔවුන්ගේ විරුද්ධ පාර්ශවය අධිකරණයේ පිහිට පැතූ අතර අධිකරණයේ තීන්දුව වූයේ එන්ඕසී. බලධාරීන්ගේ තීරණය වැරැදි බවය. එම ඓතිහාසික නඩු තීන්දුව හමුවේ දණ නමන්නට ජාතික ඔලිම්පික් කමිටුවට සිදුවීමෙන්ම පෙනී යන්නේ ඔය කියන ස්වාධීන කමිටුවට ලංකාවේ නීතියට ඉහළින් යා නොහැකි බවය. නැතහොත් අයිඕසී.(ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව) යේ පදයට නටන්නට කළින් ලංකාවේ පදයට අනුව නටන්නට සිදුවන
බව එම නඩු තීන්දුවෙන් එන්ඕසී. යට පාඩමක් කියා දී ඇත.
තමන්ගේ බලය රැකගන්නට එසේ සියලුම සෙල්ලම් දැමුවත් එම තනතුරු වලට පැමිණ රටේ ක්‍රීඩාව වෙනුවෙන් මොවුන් කර ඇත්තේ මෙනවා දැයි යන්නට සාක්ෂි දරණ බොහෝ කරුණු කාරණා පෙන්වා දිය හැකිය. ඒ අතරින් දැන් කතා බහ වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසය ගත්තද එහෙන් මෙහෙන් ලබා ගත් දස්කම් හැරෙන්නට වන්දනාවෙ ගිය නඩයේ තරමට වැඩ පෙන්වා නැත. 1994 දී රටවල් 72ක් අතර 16 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව අවසන් 2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල නිමා කරන විට 31වැනි ස්ථානය දක්වා පල්ලම් බැස තිබුණි.
1938 දී පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ගමන ඇරුඹූ ශ්‍රී ලංකාව මේ වන විට පදක්කම් 20ක් (රන්-4යි, රිදී-8 යි හා ලෝකඩ 8 යි) දිනා ගෙන ඇතත් ඉන් 14ක්ම දිනා ගෙන ඇත්තේ බොක්සිං (7) සහ බර ඉසිලීමෙන් (7) ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය. එහෙත් මෙරට බොක්සිං ක්‍රීඩාව තම ජීවිතය මෙන් කැපකරමින් කටයුතු කරනා මෙරට වත්මන් බොක්සිං පාලකයින්ගෙන් පන්න පන්නා පලිගන්නට එන්ඕසීය උත්සාහ කරන්නේ ක්‍රීඩාව ගැන සිතනවාට වඩා තමන්ගේ පැවැත්ම ගැන සිතන නිසා බව පැහැදිලිය. මෙවැනි අකටයුතු කම් ගැන කියා ඒවාට නිසි විසඳුමක් ලබා ගන්නට අද තැනක් නැත. ඇත්ත නැත්ත තේරුම් කර දෙන්නට ඇහුම් කන් දෙන වගකිවයුත්තෙක් නැති තැනට අද ක්‍රීඩාව පත්ව ඇත. ඇහුණත් ඒවා දැක නිහඬව සිටින්නේත් තමන්ට ඇති වාසි නිසා වන්නට විය හැක.
මෙකී සමස්ථ කාරණා නිසාම අද අපි යන ආසියානු, පොදු රාජ්‍ය මණ්ඩලයීය හා ඔලිම්පික් වැනි ක්‍රීඩා උළෙල වලින් මෙරටට එන්නේ පන්දම් හෝ යෂටිය පමණි. පදක්කම් එන්නේ නැත. රැජිනගේ යෂ්ටියක් හෝ ඔලිම්පික් පන්දමක් ලංකාවට එන කාලයට මුළු රටේම ජනතාව අන්දවා චූන් කරනා මෙකී පාලකයින් එවන් ක්‍රීඩා උළෙල පැවැත්වෙන කාලයට මෙරට ක්‍රීඩාවේ ඉහළ බලධාරීන්ද අන්දවා පන්දම් අල්ලන අය සමඟ තමන්ගේ ඉදිරි ගමනට පාර කපා ගනී. එහෙත් මිලියන ගණන් වියදම් කොට යෂ්ටියක් හෝ පන්දමක් රැගෙන රට වටේම සද්දෙ දාපු තරමට වැඩ පෙන්වා නැත. මේ කිසිවෙකු හැදෙන පාටක් හෝ හැදෙන්නට උත්සාහ කරන පාටක්ද නැත. හේතුව ඔවුන්ට දඬුවම් කළ යුතු අයද ඔවුන් සමඟ සිටින නිසාදැයි සැකයක් මතුවේ. එ නිසා දේශපාලනය ක්‍රීඩාවක් මෙන්ම ක්‍රීඩාව සෙල්ලමක් කරගෙන සිටින තුරු මෙරට ක්‍රීඩාව පල්ලම් බසිමින් සිටී.