කොරෝනාවට පසු පාසල් යළි 6 වැනිදා ඇරඹේ

මාස තුනකට වැඩි කාලයක් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබු ශ‍්‍රී ලංකාවේ පාසල් යළිත් ලබන ජූලි 6 වැනිදා සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
අදියර හතරක් යටතේ පාසල් යළිත් ආරම්භ කරන බව අමාත්‍යවරයා පැවසීය. ඒ අනූව මෙම මස 29 වැනිදා සිට පාසල් පළමුව විවෘත කරනු ලබන්නේ ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට වන අතර සිසුන් වෙනුවෙන් පාසල් ලබන මස 6 වැනිදා සිට විවෘත කෙරේ.
පළමු අදියර යටතේ අ.පො.ස උසස් පෙළ සිසුන් සහ සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් පාසල් ආරම්භ කරන අතර අනෙකුත් ශ්‍රේණිවල ළමුන් වෙනුවෙන් අදියර කිහිපයකින් පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.