සති දෙකට විදෙස් සංචාරකයෝ 39,172ක්

කොවිඩ් වසංගතය හේතුවෙන් පසුබෑමට ලක්ව තිබෙන මෙරට සංචාරක කර්මාන්තයට යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් මේ වසරේ මුල් දෙසතිය තුළ විදෙස් සංචාරකයන් 39,172 දෙනකු පැමිණ තිබේ.

මෙම දින 14 තුළ මෙරටට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම පිරිස 6,963කි.

කොවිඩ් වසංගතය පැවති පසුගිය වසරක (2021) කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 194,495ක් වන අතර ඉන් වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ පසුගිය වසරේ අවසන් මාස 3 තුළදී වේ. එම මාස 3ක කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 156,571කි. පසුගිය සති 2 තුළ රුසියාවට අමතරව වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාව, යුක්රේනය, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, මාලදිවයින, ඔස්ට්‍රේලියාව, පෝලන්තය, අමෙරිකාව වැනි රටවලිනි. සංචාරක ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් රුසියාව, යුක්රේනය, එංගලන්තය, ජර්මනිය හා ප්‍රංශය යන රටවල විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු අතර එහි ප්‍රථිඵලයක් ලෙස එම රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ඇමැතිවරයා පෙන්වා දුන්නේය.