කලකට පසු හොඳම ක්‍රිකට් පරිපාලනය ෂම්මි සිල්වාගෙන්

  • ඡන්ද බලාගෙන වැඩ කරන ක්‍රිකට් පරිපාලනයක් දැන් නැහැ – ක්‍රීඩා ඇමැති කියයි

අසේල විතාන

ෂම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය 1996 වසරෙන් පසුව බිහිවූ හොඳම ක්‍රිකට් පරිපාලනය බවට හැඳින්විය හැකිය. ඒ බව තහවුරු කරමින් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂද වත්මන් පරිපාලනය ඇගයීමට ලක්කිරීම විශේෂත්වයකි.
මඩ ගොහොරුවක් බඳුව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පසුගිය දශක දෙක තුළදී විවිධ චෝදනාවලින් හංවඩු ගැසුණි. කෝප් කමිටුවටද ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ ෆයිල් මිටි ගණන් ගොස් තිබුණි. නමුත් ඒ සියලු දේ වසර කිහිපයකට පෙර තිබු පරිපාලනවල දූෂිත තත්ත්වයන් වේ.
කෙසේ වෙතත් වත්මන් ක්‍රිකට් පරිපාලනය බලයට පැමිණෙන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇතුළු සියලුම ක්‍රිකට් නන්නත්තාරව තිබුණි. කෝවිඩ් වසංගතය හමුවේ වුවත් ඉතාමත් ඥාණාන්විතව ශ්‍රී ලංකා ක්‍රිකට් ඔසවා තැබු ෂම්මි සිල්වාගේ පරිපාලනය පළමු වරට එල්පීඑල් තරගාවලියක් අඛණ්ඩව පැවැත්වීමට කටයුතු කළේය. දැන් ක්‍රියත්මක වන පළාත් තරගාවලිය තවත් සුවිශේෂී තරගාවලියකි. මීට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම, ‘ඒ’ කණ්ඩායම, යොවුන් කණ්ඩායම සහ කාන්තා කණ්ඩායමද ජාත්‍යන්තරයේ ක්‍රමක් ක්‍රමයෙන් ඉදිරියට පැමිණෙමින් තිබේ. ඒ සියලු කාරණා ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඇගයීමට ලක්කිරීමට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂද ඉදිරිපත්වීම අගය කළ යුතුය.

”ක්‍රිකට් ආයතනයට තිබූ චෝදනාවක් තමයි ක්‍රිකට් බෝඩ් එක උදව් කරන්නේ ඡන්දේ තියෙන තැන්වලට විතරයි කියලා. ඒ චෝදනාව අද කාටවත් කරන්න බෑ. අද ක්‍රිකට් ගහන තැන්වලට විතරයි අපි උදව් කරන්න මැදිහත් වෙන්නේ. ජනතා මුදල් නිකරුණේ නාස්ති කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයවත්, ක්‍රීඩා අමාත්‍යාංශයවත් සූදානම් නෑ. සෙල්ලම් කරනවා නම් අපිට පිට්ටනි හදන එක ප්‍රශ්නයක් නොවෙයි. පාසල් පද්ධතිය තුළ පාසල් පන් හයසීයකට භාණ්ඩ ලැබෙනවා කියන්නේ ඒ පාසල් පද්ධතිය තුළ දක්ෂ ක්‍රීඩකයන්ට ඉදිරියට එන්න අවකාශ නිර්මාණය කරනවා කියන එකයි. මේ ක්‍රීඩකයන් තමයි 15න් පහළ සංචිතවලට පළාත් මට්ටමෙන් ගොඩ නැගෙන්නේ. හැම දරුවෙක්ටම දක්ෂතාවය සහ කැපවීම තියෙනවා නම් අනාගතයේ ජාතික කණ්ඩායමට යන්න මාවත නිර්මාණය වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික කණ්ඩායම දක්වා විවිධ මට්ටමේ තරගාවලි සංවිධාන කොට තිබෙනවා ” යැයි ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.

“අද ශම්මි සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතාම හොඳින් සියලු අංශ පිළිබඳ අවධානය යොමු කරලා වැඩ කටයුතු සිදු කරගෙන යනවා. පාසල් අංශය, පුහුණු අංශය වගේම පරිපාලනය සියල්ල හොඳින් සම්බන්ධීකරණය කරලා ලොකු වැඩ පිළිවෙළක් සිදුකරගෙන යන බව පැවැසිය යුතුයි. මෙවැනි ක්‍රමවේද මඟින් රටේ ක්‍රීඩාව දියුණු මට්ටමකට ගෙන එන්න පුළුවන්. ඒ ක්‍රමානුකූල වැඩ පිළිවෙළේ ප්‍රතිඵල තමයි අද ජයග්‍රහණවලට යා හැකි මාවත අපේ රටේ නිර්මාණය වෙලා තියෙන්නේ” රාජපක්ෂ මහතා සඳහන් කළේය.