පැරාලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම රන් පදක්කම ශ්‍රී ලංකාවට ‘මේ පදක්කම හිමි වෙන්න ඕන මගේ බිරිඳටයි’ – දිනේෂ් ජාත්‍යන්තරයට කියයි.

දුලාන් ගෙනුත් ලෝකඩ පදක්කමක්
හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත අද (අගෝස්තු 30) ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත්තේ පැරාලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් ප්‍රථම රන් පදක්කම මෙන්ම නවලෝක වාර්තාවක්ද පිහිටුවමිනි.
35 හැවිරිදි දිනේෂ් සිය තුන්වන උත්සාහයේදී මීටර් 67.79 ක් විසි කර රන් පදක්කම දිනා ගත් අතර එය ඉන්දියාවේ දේවේන්ද්‍ර විසින් පිහිටුවා තිබූ ලෝක වාර්තාවද බිඳ දැමීමකි. ඒ අනුව රියෝ 2016 ඔලිම්පික් උළෙලේදී මෙම ඉසව්වෙන් වාර්තාවක් තැබූ හෙල්ල විසිකිරීමේ ශූර දේවේන්ද්‍රට මීටර් 64.35 ක දුරක් වාර්තා කරමින් අද රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

ඓතිහාසික ඔලිම්පික් ජයග්‍රහණයෙන් පසුව අදහස් දැක්වූ දිනේෂ්, “මගේ ප්‍රධානම සිහිනය සැබෑ වූ නිසා මම ඉතාමත් සතුටු වෙනවා. (හැඟීම) විස්තර කිරීමට මට වචන නැහැ,
“මෙය ශ්‍රී ලංකාවේ පැරා ක්‍රීඩකයින් සඳහා හොඳම උදාහරණයයි. මෙය සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේම ඓතිහාසික ජයග්‍රහණයක් වනවා ව‍ගේම මෙම රත්තරන් පදක්කම පූජා කළ යුතු කෙනෙක් සිටිනවා ඒ මගේ ආදරණිය බිරිඳ“ යනුවෙන් ප්‍රකාශ කළ බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට තිබුණි.
“මට දරුවන් තිදෙනෙක් සිටිනවා. මගේ බිරිඳ ඔවුන්ව හොඳින් බලා ගන්නවා. ඇය මාව දිරිමත් කරනවා. අපේ බාල දරුවාගේ වයස මාස අටයි. මගේ බිරිඳ හැම දෙයක්ම කළා. ඇය මට ක්‍රීඩාව කිරීමට නිදහස ලබා දුන්නා. මෙම රන් පදක්කම ගැන මම මගේ බිරිඳට ස්තූති කරනවා. ” යනුවෙන් ජයග්‍රහණය ප්‍රකාශ කිරීමෙන් පසු ශ්‍රී ලංකා ධජය සිප ගත් ප්‍රියන්ත පැවසීය.

ශ්‍රී ලංකා ගජභා රෙජිමේන්තුවේ සේවය කළ දිනේෂ්ට මෙරට පැවැති යුධ සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ මානුශීය මෙහෙයුම් වල නිරතව සිටියදී තම වම් අත ආබාධයකට ලක්වීම හේතුවෙන්
2008 වසරේදී තම රාජකාරී වලින් ඉවත් වීමට සිදුවිය. ඉන් පසුව 2012 වසරේදී ක්‍රීඩාවට අවතීර්ණ වන දිනේෂ් ඉතාමත් කැපවීමෙන් පුහුණුවීම් කරමින් අද මෙම ඓතිහාසික ජයග්‍රහණය අප රටට උරුම කර දී ඇත.

කෙසේ වෙතත් තම දයාබර ස්වාමිපුරුෂයාගේ ජයග්‍රහණය පිළිබඳව බලවත් සේ සතුටට පත්ව සිටින ඉෂංකා මධුවන්ති මහත්මිය පවසන්නේ මෙවන් අදහසක්.
“ ඇත්තටම මගේ මහත්තයා කිසිම දෙයකින් අධෛර්යයට පත්වෙන කෙනෙක් නොවෙයි. පරාජය ඉදිරියේ නොසැළෙන කෙනෙක්. ලොකු පුතාටත් කියන්නේ ඒ අදහස්ම තමයි. අධිෂ්ඨානය කැපවීම කියන දේ උපරිමයෙන්ම තියෙනවා. එයාගෙ කටයුතු වලට මගේ සහයෝගය ආශීර්වාදය හැමවිටම දුන්නා. ගෙදර වැඩ එයාට බරක් වෙන්න මම ඉඩ තිබ්බෙ නැහැ. එයාගෙ ක්‍රීඩා පුහුණුවීම් කටයුතු නිසාම පසුගිය මාස 2ක් විතර ගෙදර ආවෙත් නැහැ. ඒ සියළු කැපකිරීම් වල ප්‍රතිඵල අද ලැබිල තියනවා. මට බිරිඳක් විදියට ඒ ගැන හරීම ආඩම්භරයි. හරීම සතුටක් දැනෙනවා.“

මේ අතර, අද තවත් හෙල්ල විසිකිරීමේ ඉසව්වකින් (එෆ් 44) ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දුලාන් කොඩිතුවක්කු සමත් විය. ඔහුගේ පෞද්ගලික හොඳම දස්කම ලෙස ඔහු වාර්තා කළ දුර මීටර් 65.61 කි.