රටේ තාරුණ්‍යය දෙස ඉතා උවමනාවෙන් බැලිය යුතුයි-ක්‍රීඩා, තරුණ කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි

රටේ ජනතාව මුහුණ දෙන ගැටළු විසදා නැවත රට සාර්ථක මාවතකට යොමු කිරීමට අවශ්‍ය කටයුතු කරන බව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. අභිනවයෙන් පත්වූ වාරිමාර්ග, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ (23) සවස ක්‍රීඩා අමාත්‍යාංශයේ දී වැඩ භාර ගැනීමෙන් අනතුරුව මේ බව පැවසීය.

පොලොන්නරු දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි රොෂාන් රණසිංහ මහතා ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් වාරිමාර්ග, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස ඊයේ (23) දින දිවුරුම් දී අමාත්‍යධූරයේ රාජකාරි භාරගන්නා ලදි. එහිදී අදහස් දැක්වූ රණසිංහ අමාත්‍යවරයා “. රටේ ආර්ථික අභියෝග රැසක් තිබෙන වෙලාවක මෙම අභියෝග ජය අරගෙන රටේ ජනතාව මුහුණ දෙන ගැටළු විසදා නැවත රට සාර්ථක මාවතකට යොමු කරන්න ජනාධිපතිතුමා විසින් නව රජයක් පත් කරණු ලැබුවා. එහි වාරිමාර්ග, ක්‍රීඩා හා තරුණ කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ දිවුරුම් දී එදිනම අමාත්‍යාංශයට පැමිණ වැඩ භාර ගැනීමට මම කටයුතු කළා. මා වෙත අමාත්‍යාංශ දෙකක වගකීම් පවරා තියෙනවා. මේ මොහොතේ අපේ රට මුහුණදෙන ආර්ථික ප්‍රශ්ණ වගේම කෘෂිකර්මාන්තය
හා බැදුනු වාර්මාර්ග පද්ධතිය, රටේ ක්‍රීඩාව පවත්වාගෙන යාම වැනි කරුණු සදහා සෘජුවම මගේ අමාත්‍යාංශ දායක වෙනවා. මේවා එකක්වත් නවත්තන්න බැහැ. ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍යයි. ඒ වගේම අපි රටේ තාරුණ්‍යය දෙස ඉතා උවමනාවෙන් බැලිය යුතුයි. රටේ තරුණයෝ මේ මොහොතේ යම් අසහනයක ඉන්නවා. ඒ අසහනය දුරු කිරීමට රජය කටයුතු කළ යුතුයි.“ යනුවෙන් පැවැසීය.
“විෂය භාර අමාත්‍යවරයා ලෙස ඒ සදහා දෙන්න පුළුවන් උපරිම සාධාරණ විසදුම් ලබාදී අලුත් වැඩපිළිවෙළක් මගින් ඔවුන් සමග ඉදිරියට යාමේ වගකීම භාරගෙන කටයුතු කරනවා. අමාත්‍යාංශවල නිලධාරින් සමග සාකච්ඡා කර නව ලේකම්වරයෙක් පත්වූ පසු ඉක්මනින් ම ඉදිරි වැඩ කටයුතු සිදු කරන්න අවශ්‍යයි. අද දිනයේම වැඩභාරගත්තේ ඒ නිසයි“ , ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනුරාධ විජේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

*කර්තෘ සටහන-
නව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත්වූ රොෂාන් රණසිංහ මහතාට උණුසුම් සුභපැතුම් එක්කරන්නට මෙය අවස්ථාවක් කරගන්නා අතරම ඔබට පැවැරී ඇති ක්‍රීඩා අමාත්‍යංශයට අදාළව පමණක් කෙටියෙන් යමක් පවසන්නටද මෙය අවස්ථාවක් කරගන්නේ යහපත් අරමුණක් ඇතිව ගමන් අරඹන ඔබට මෙන්ම ක්‍රීඩාවටද එය පිටුවහළක් වනු ඇතැයි විශ්වාස කරනා නිසාය. ගෙවී ගිය දශක 3ක පමණ කාලය තුළ මෙරට සමස්ථ ක්‍රීඩාව කඩාවැටීමට ප්‍රධානම හේතුව ක්‍රීඩා
අමාත්‍යංශය (ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළුව), ජාතික ක්‍රීඩා සභාව හා ජාතික ඔලිම්පික් කමිටුව යන ක්‍රීඩාවට වගකියන ප්‍රධාන ආයතන තුනෙහි දූෂිත හා අකටයුතුකම් මෙන්ම අකාර්යක්ෂම ක්‍රියාකලාපයයි. මේ බව සනාථ කිරීමට ඕනෑම අවස්ථාවක අප සූදානම්ව සිටින අතර විශේෂයෙන්ම ජාතික ඔලිම්පික් කමිටුව ඇතුළු මෙකී ආයතන වල නිලධාරීන් දිගින් දිගටම  ක්‍රියාවට නංවමින් සිටින පත්වන ක්‍රීඩා ඇමැතිවරයා අන්දවා තමනුත් ඇඳගැනීමේ කලාවට, අමාත්‍ය තුමණි ඔබවත් කොටුකර ගැනීමට ඉඩ ඇත.

-සිරිනාම.