භූමිතෙල් සුවඳින් ‘කියා’ රජ වැඩක් කරයි

යක්කලමුල්ල කොට්ටව ගම්මැද්ද ප‍්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නතරකොට තිබූ ත‍්‍රිරෝද රථයකට හා බොලෙරෝ වර්ගයේ ජිප් රථයේ ටයරයකට ගිනිතබා ඇති බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.

පෙරේදා (09 දා) අලූයම 1 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති බව පැමිණිලිකරු විසින් පොලිසියට ප‍්‍රකාශ කර ඇත. එකවරම පිපිරීම් ශබ්දයක් ඇසී ඇති අතර එම ශබ්දයට නිවසේ සිටි අය අවදි වී බලන විට ත‍්‍රිරෝද රථය ගිනි ගැනීමට ලක්ව තිබී ඇත.

සැකකරු අල්ලා ගැනීම සඳහා ගාල්ල නිල සුනඛ 1462 ‘කියා’ යොදා ගනිමින් සිදුකළ පරීක්‍ෂණයෙන් සැකකරුගේ නිවස සොයාගෙන ඇති අතර සැකකරු පලාගොස් ඇති බව පවසති.

එම ස්ථානයේ දමා ගොස් තිබූ භූමිතෙල් බෝතලයේ මූඩියට ‘කියා’ සුනඛයා ඉව ඇල්ලීමෙන් පසු එම ස්ථානයේ සිට මීටර් 200 ක් පමණ නුදුරින් පිහිටි සැකකරුගේ නිවසට ගොස් කියා නතර වී ඇත. සැකකරු එම ස්ථානයේ නොසිටි අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා යක්කලමුල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පත්වයි.

යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. චන්දන හේවගේ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පො.ප. රණතුංග, නිල සුනඛ අධීක්‍ෂණ නිලධාරී පො.ප. නිමල් රාජපක්‍ෂ, 1462 නිල සුනඛ භාරකරු පො.කො. (90043) පි‍්‍රයනාත් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කෙරේ.