සිගන්නියට ඇඳුන අමුතුම ස්විප් එක…

ව්‍යාපාරිකයකුගේ ඒ.ටී.එම්. කාඩ් පතක් භාවිත කරමින් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වංචාවක් සිදුකළ සිඟමන් යදින කාන්තාවක් පසුගියදා අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි.

එගොඩඋයන ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සිය ඒ.ටී.එම්. කාඩ්පත අස්ථානගත වී ඇති බවත්, එයින් රුපියල් එක් ලක්ෂ තිස්දහසක් පමණ පුද්ගලයකු විසින් වංචාකර ඇති බවටත් කරන ලද පැමිණිල්ලකින් අනතුරුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී අත්අඩංගුවට පත්ව ඇත්තේ කළුතර උතුර විලේගොඩ ප‍්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය කියයි.

ඇය මොරටුව ප‍්‍රදේශයේ සුපිරි වෙළෙඳ සලක් ආසන්නයේ සිඟමන් යදින අතර දින කිහිපයකට ප‍්‍රථම එහි පැමිණි ව්‍යාපාරිකයකු ඇයට මුදල් ලබාදීමේදී ඒ.ටී.එම්. කාඩ්පත බිම වැටී අහුලා ගත් බවට කාන්තාව ප‍්‍රකාශ ලබාදී ඇතැයි පැවසේ.

පසුව එය උපයෝගී කරගනිමින් රුපියල් එක්ලක්ෂ තිස්පන්දහසක් පමණ වටිනාකමකින් යුත් රෙදි සෝදන යන්ත‍්‍රයක්, රයිස් කුකරයක්, නිමි ඇඳුම්, මත්පැන් සහ ආහාරපාන මිලදී ගෙන ඇති බව පොලිසිය කියයි.

මිලදී ගනු ලැබූ විදුලි උපකරණ පොලිස් භාරයට ගෙන ඇති අතර ආහාරපාන මිලදී ගැනීම වෙනුවෙන් වැයවූ රුපියල් 50,000 ක මුදල ඇයගේ සැමියා පොලිසියට ලබාදී ඇතැයි පැවසේ. සිඟමනේ යෙදී සිටියද සැකකාර කාන්තාව සතුව රුපියල් විසිදහසක කුලියට ලබාදී ඇති නිවාස දෙකක හිමිකාරියක් බවටද තොරතුරු හෙළිව ඇතැයි පොලිසිය පවසයි.

සැකකාරිය මොරටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර, සහකාර පොලිස් අධිකාරී ප‍්‍රදීප් වෙත්තසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක ක‍්‍රිශාන්ත ලොකුගේ මහතාගේ මෙහෙය වීමෙන් උ.පො.ප. මධුසංඛ, නිශ්ශංක, පො.කො. වරුන් වන දිලංක (7220), ප‍්‍රදීප් (24379), දෙහිගම (97397) සහ අචලා (5471) යන නිලධාරීන් වැටලීමට එක්වූහ.