ගුරු ගැටලුවට විසඳුම අගමැති දෙයි – පැය 24 කින් වෘත්තිය සමිති තීරණය අගමැතිට දැනුම් දෙයි

ගුරු විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් අරලියගහ මන්දිරයට කැඳවා අද (12) අගමැති මහින්ද රාජපක්ෂ ඇමති දිනේෂ් ඇතුලු පිරිස සාකච්ඡාවක් පවත්වන ලදි.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුවේ යෝජනාව වූයේ කොටස් තුනකින් වැඩි කිරීමට යෝජිත වැටුප පළමු අදියරයට 2022 වර්ෂයේ අය-වැය තුළින් ද ඉතිරි කොටස් දෙක 2023 වර්ෂයේ අය වැය මගින් එම වසරේ දී ද ලබාදීමටය.
මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කළේ එය කොටස් 3 කට නොව 2 කට දියහැකි බවයි.

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා පැවති අරගලයට විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කරන බවත් වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තිය සමිති අදට දින 93ක් පුරා කරන අරගල නවත්වන ලෙසත් මෙහිදී ඉල්ලා සිටියේය.
කොවිඩ්-19 වසංගතය හමුවේ මහා භාණ්ඩාගාරයට මුදල් ලැබීම් සීමා වීම නිසා එකවර මෙම ඉල්ලීම් ලබා දීමට නොහැකි බව අග්‍රාමාත්‍යතුමා පැවසීය.
මීට අමතරව ගුරු, ගුරු උපදේශක, විදුහල්පති සේවාවන් සංවෘත සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අදාල විධිවිධාන නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයටපත් කිරීම ඇතුළු අනෙකුත් නිර්දේශ මාස 06ක් තුළ ක්‍රියාත්මක කිරීමටද එකඟ විය.

කෙසේ වෙතත් මෙම රැස්වීමේදී ගුරු සංගම් සියල්ල අසා සිටි නමුත් ඒවාට එකඟවන බවක් කීවේ නැත. හෙට මේ ගැන සාකච්ඡා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් හෙට ගුරු සංගම් රැස්වී තීරණයකට එළඹීමට නියමිත බවත් වර්ජනය තවතනවාද නැද්ද යන්න හෙට බදාදා (13) සවස දැනුම් දෙන බවත් දන්වා සිටින ලදි.