ලොව උසම පැරාලිම්පික් ක්‍රීඩකයාත් රන් පදක්කමක් දිනයි

පසුගියදා නිමාවූ ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේදී ලොව උසම පැරාලිම්පික් ක්‍රීඩකයා වන ඉරානයේ මොර්ටෙසා මෙර්සාඩ්සෙලාක්ජානි හට රන් පදක්කමක් හිමිව තිබේ. ඒ වාඩිවී සිදුකරන වොලිබෝල් (Sitting Volleyball) ක්‍රීඩාවෙනි.

ඉරානය වාඩිවී සිදුකරන වොලිබෝල් රන් පදක්කමට හිමිකම් කීවේ තරග වට 3-1ක් (25-21 25-14 19-25 25-17) ලෙස රුසියාව (ආර්පීසී) පරාජයට පත් කරමිනි.

මීට වසර පහකට පෙර රියෝ පැරාලිම්පික් උළෙලේ ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වූ මෙර්සාඩ්, ආර්පීසී කණ්ඩායමට එරෙහිව පැවති අවසන් මහා තරඟයේදීද ඉරානය වෙනුවෙන් සුවිශේෂී දස්කම් දැක්වූ අතර, ඉරානය වෙනුවෙන් ලකුණු 28ක් රැස්කරමින් පෙරමුණ ගත්තේය.

මොර්ටෙසා මෙර්සාඩ්සෙලාක්ජානි මීටර් 02ක් සහ සෙන්ටිමීටර 46ක් (අඩි 08යි අඟල් එකයි) උස වන අතර, ලොව උසම පැරාලිම්පික් ක්‍රීඩකයා සහ මේවනවිට ජීවත්ව සිටින ලොව දෙවන උසම මිනිසා ලෙස සැලකෙයි. මේවනවිට ජීවත්ව සිටින ලොව උසම මිනිසා ලෙස සැලකෙන්නේ තුර්කියේ සුල්තාන් කර්සන්ය. ඔහුගේ උස මීටර් 02ක් සහ සෙන්ටිමීටර 52ක් හෙවත් අඩි 08යි අඟල් 2.82කි.

33 හැවිරිදි මෙර්සාඩ් රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට මාස හයකට පෙර ජාතික කණ්ඩායමට එක්ව වොලිබෝල් ක්‍රීඩා කිරීම ආරම්භ කළ අතර, එය ඔහුගේ ජීවිතය වෙනස් කළ සන්ධිස්ථානයක් විය. එකල ඔහු බොස්නියා සහ හර්සගොවීනාට එරෙහිව ඉරානය අවසන් පූර්ව ජයග්‍රහණය ලැබීමෙන් පසු ඔහු මාධ්‍ය වෙත පැවසුවේ වොලිබෝල් ක්‍රීඩා කිරීමට පෙර, තමන් නිවසේ වාඩි වී සිටියේ තමාගේ උස ගැන ලැජ්ජාවට පත්වූ නිසා බවයි.

කුඩා අවධියේදී ඇක්‍රොමැගලි රෝගයෙන් පීඩා විඳි මෙර්සාඩ් වර්‍ධන හෝමෝන අධික වීම මෙන්ම නව යොවුන් වියේදී, පාපැදි අනතුරකින් ඇති වූ ශ්‍රෝණියෙහි (උකුල ප්‍රදේශය) අස්ථි බිඳීමක් හේතුවෙන් ඔහුගේ දකුණු පාදය වැඩීම නැවතී තිබිණ. අනතුරුව එය ඔහුගේ වම් කකුලට වඩා කෙටිවූ අතර ඉන් ඔහුට ඇවිදීමට අපහසු වී ඇත.