තම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සිමනෞස්කායා යුරෝපීය පදක්කම ඩොලර් 21,000කට අලෙවි කරයි

බෙලරුසියානු කෙටි දුර ධාවන ශූරි ක්‍රිස්සීනා සිමනෞස්කායා (Krystsina Tsimanouskaya) ඇය 2019 වසරේ අවුරුදු 23න් පහළ තරගාවලියේ මීටර් 100 ඉසව්වෙන් දිනාගත් යුරෝපීය රිදී පදක්කම බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 21,000කට (ආසන්න වශයෙන් රු. ලක්ෂ 41ක් හෙවත් රු. 4,189,233.30) අලෙවි කර තිබේ.

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී බලහත්කාරයෙන් තම රට බලා පියාසර කිරීමට තම කණ්ඩායම උත්සාහ කළ බව පැවසූ බෙලරුසියානු ක්‍රීඩිකා ක්‍රිස්සීනා සිමනෞස්කායා ඇගේ යුරෝපීය රිදී පදක්කමෙන් ලද මුදල් බෙලරුසියාවේ එම ගැටලුවට මුහුණදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් උපකාර කිරීමට භාවිත කරන බව පැවසුවාය.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී බෙලරුස් කණ්ඩායම බලහත්කාරයෙන් තම රට බලා පියාසර කිරීමට උත්සාහ කළද අනතුරුව පෝලන්තයේ රැකවරණ පතා යාමට සිදුවිය. මීට හේතුව වී ඇත්තේ බෙලරුස් රාජ්‍යයට මේ වනවිට බටහිර මිත්‍ර රටවල් සම්බාධක පැනවීම සහ ඔවුන් රුසියාවේ මතය වෙනුවෙන් කටයුතු කිරීමත්ය.

මලල ක්‍රීඩිකා සිමනෞස්කායා ඇගේ පදක්කම ඇමෙරිකානු ඩොලර් 21,000කට අලෙවි කළ බව රාජ්‍ය නොවන ක්‍රීඩා සංවිධානයක් පවසයි. බෙලරුසියානු ක්‍රීඩා සහයෝගිතා පදනම (බීඑස්එස්එෆ්) පැවසුවේ ඊබේහි ගනුදෙනු කරන එක්සත් ජනපදයේ ගැනුම්කරුවෙකුට මෙම පදක්කම අලෙවි කර ඇති බවයි.

සිමනෞස්කායා ජාත්‍යන්තර අවධානයට ලක් වූයේ තම කණ්ඩායම ටෝකියෝවේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලින් ඉක්මනින් ඉවත් වී ඒකාධිපති බෙලරුසියාවට ආපසු යන ලෙස තම කණ්ඩායමට බල කිරීම සහ එයට එරෙහි වීම හේතුවෙනි.

ගුවන් යානයට ගොඩවීම වළක්වා ගැනීම සඳහා ටෝකියෝ 2020 බලධාරීන්ගේ ආරක්ෂාව පැතූ සිමනෞස්කායා, ටෝකියෝ ගුවන් තොටුපල හෝටලයක රාත්‍රිය ගත කිරීමෙන් අනතුරුව ඇය පෝලන්තයට රැකවරණය පතා පලා ගියාය.