වසර 18කට පසු පාකිස්තානයට එන නවසීලන්ත ක්‍රීඩකයින්ට සුපිරි නිරෝධායනයක් සහ සුපිරි ආරක්ෂාවක්

එක්දින තරග 03ක් සහ විස්සයි20 තරග 05ක් ක්‍රීඩා කිරීමට වසර 18කට පසු පාකිස්තානයට පැමිණෙන නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්, කාර්ය මණ්ඩලය, නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් නිරෝධායනය කිරීම සඳහා තරු හතේ සුපිරි පන්තියේ හෝටලයක් සහ සුපිරි ආරක්ෂාවක් වෙන් කිරීමට පියවර ගෙන තිබේ.

එම තරු හතේ සුපිරි පන්තියේ හෝටලයේ මහල් 03ක සම්පූර්ණ කාමර 220කට වැඩි ප්‍රමාණයක් නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් වෙන් කර ඇත. මෙම මහල් 03කින් යුත් කාමර 220 ජෛව ආරක්‍ෂිත බුබුල නිර්මාණය කරන බව එම හෝටලයේ විධායක නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ.

එමෙන්ම හෝටලයේ කාර්ය මණ්ඩලය ද ජෛව ආරක්‍ෂිත පරිසරයට ඇතුළත් කරන බවත්  කාර්ය මණ්ඩල සාමාජිකයින් කණ්ඩායම් ලාහෝර් බලා පිටත් වන තුරු එකම ආරක්ෂිත පරිසරයක් තුළ රැඳී සිටින බවද වැඩිදුරටත් පැවසීය.

මෙම තරු හතේ සුපිරි හෝටලයේ වෙන්කරවා ගත් මහල් තුන ක්‍රීඩකයින් සඳහා ජිම්, රැස්වීම් කාමර සහ කෑම කාමර ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත වේ.

මේ අතර නවසීලන්ත ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සඳහා පාකිස්තානු යුද හමුදාවේ 111 වැනි පාබල හමුදා බලකායට පවරා තිබේ. මෙම බලකාය සැලකෙන්නේ කුමන්ත්‍රණ සහ අපරාධ සම්බන්ධයෙන් ක්ෂණිකව මැදිහත් වී වේගවත් ප්‍රතිචාර දක්වන බලකායක් ලෙසයි.

පාකිස්තානය සහ නවසීලන්තය අතර තරඟාවලිය මෙම මස 17දා ආරම්භ වන අතර මෙම මස 11දා ඔවුන් පාකිස්තානයට පැමිණීමට නියමිතය.