කොවිඩ්-19 මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම හේතුවෙන් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ බ්‍රසීලය-ආර්ජන්ටිනා තරගයට බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් කඩා වදියි

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගයක් ලෙස පැවැත්වුණු  බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව අතර තරගය අත්හිටුවීමට පියවර ගෙන තිබේ. මීට හේතු වී ඇත්තේ ආර්ජන්ටිනා ක්‍රීඩකයින් කොවිඩ්-19 මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීමයි.

මෙම තරගයේදී කොවිඩ් නීතීවලට පටහැනිව, ආර්ජන්ටිනා ක්‍රීඩකයින් ක්‍රීඩා කළ බවට චෝදනා එල්ල වන අතර, සෞඛ්‍ය බලධාරීන් වහා තණතීරුව වෙත ගොස් තරගය නතර කිරීමට පියවර ගෙන තිබේ. එහිදී ආර්ජන්ටිනා ක්‍රීඩකයින් කොවිඩ්-19 ප්‍රොටෝකෝල උල්ලංඝනය කළ බවට සෞඛ්‍ය බලධාරී චෝදනා කර සිටියහ.

බ්‍රසීලයේ සාඕ පවුලෝහි නියෝ ක්විමිකා එරීනාහි පැවති මෙම තරගය අතරතුරදී දෙපාර්ශවයේම ක්‍රීඩකයින් අතර ගැටීමක් මතුව පසුව එය ආරවුලක් දක්වා  දිග්ගැස්සී තිබුණි. අනතුරුව බ්‍රසීලියානු සෞඛ්‍ය නිලධාරීහු තණතීරුව වෙත දිව ගොස් තරගය නතර කරන ලෙස ප්‍රධාන විනිසුරුට දැනුම්දී තිබේ. කොවිඩ්-19 ප්‍රොටෝකෝල උල්ලංඝනය කිරීම හේතුවෙන් ආර්ජන්ටිනා කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව් දෙනෙකු වහාම නිරෝධායනය කළ යුතු බව බ්‍රසීලයේ සෞඛ්‍ය බලධාරීන් පැවසීමෙන් පසු තරගය අත්හිටුවා ඇත.

බ්‍රසීලයේ ජාතික සෞඛ්‍ය නිරීක්ෂණ ඒජන්සියට (ANVISA) අනුව, ප්‍රිමියර් ලීග් ක්‍රීඩකයින් වන ජියෝවානි ලෝ සෙල්සෝ (ටොටන්හැම්), එමලියානෝ මාර්ටිනස් (ඇස්ටන් විලා), එමලියානෝ බුවෙන්ඩියා (ඇස්ටන් විලා) සහ ක්‍රිස්ටියන් රොමේරෝ (ටොටන්හැම්) බ්‍රසීලයට ඇතුළු වීමේදී අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බවටද චෝදනා එල්ලවී තිබේ.