පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලිමේ ශුරතාවලියේදි මනෝජ් සහ ඉන්දික ගෙන් තවත් ලෝතඩ පදක්කම් දෙකක්. චින්තනත් අද තරග බිමට

මේ මස 17දා දක්වා උස්බෙකිස්තානයේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලිමේ
ශුරතාවලියේ ඊයේ (10දා) පැවති තරග ඉසව් වලදී පිරිමි කිලෝග්‍රැම් 67 බර පංතියෙන් තරග වැදුණ ශ්‍රී
ලංකාවේ මනෝජ් මධුවන්ත විජේසිංහ සහ කිලෝ ග්‍රෑම් 73 බර පංතියෙන් තරග කළ ඉන්දික දිසානායක
යන ක්‍රීඩකයින් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

මනෝජ් තම ඉසව්වේදි ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 113 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රැම්
141 ක බරක් ඔසවමින් සමස්ත බර ලෙස කිලෝග්‍රෑම් 254 ක් ඔසවා දක්ෂතා දැක්වූ අතර ඉන්දික ස්නැච්
ක්‍රමයට කිලෝග්‍රෑම් 130 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රැම් 156 ක් ලෙස සමස්ථ බර ලෙස
කිලෝග්‍රෑම් 286 ක් ඔසවමින් මෙම ජයග්‍රහණ වාර්තා කර ඇත.

රටවල් 74 ක සහභාගීත්වයෙන් මේ මස 7දා සිට පැවැත්වෙන මෙම බර ඉිසිලීමේ ශූරතාවලියේදී
ඊයේ පිරිමි කිලෝ ග්‍රෑම් 73 බර පංතියෙන් තරග වැදුණ සුදේෂ් පීරිස් ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 127ක්
වාර්තා කළද ඉන් පසුව පාදයේ ඇතිවූ හදිසි ආබාධයක් හේතුවෙන් ඔහුට තරගයෙන් ඉවත් වීමට සිදුවිය.

මේ අතර අද පැවැත්වෙන තරග වලදී කාන්තා කිලෝ ග්‍රෑම් 59 බර පංතියෙන් මොහිදීන් උමේරා සහ
එන්.එස්.රාජපක්ෂ යන ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට නියමිත අතර පොදු රාජ්‍ය
මණ්ඩලයීය රන් පදක්කම් ලාභියකු වන චින්තන ගීතාල් විදානගේ පිරිමි කිලෝ ග්‍රෑම් 81 බර පංතිය යටතේ
අද තරග බිමට පිවිසෙනු ඇත.