විදුලි ඉංජිනේරුවන්ට ජනපතිගෙන් ටොක්කක්

පසුගිය දින කිහිපයේදීම විදුලිය රට පුරා විසන්දිවීම් මෙන්ම උද්ඝෝෂණ හේතුවෙන් රටේ ජනතාව දැඩි පීඩනයකට ලක්විය කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා ඉංජිනේරුවන්ව හමුවී උද්ගතවූ ප්‍රශ්නය සම්බන්ධයෙන් විවෘතව කතා කළ අතර එහිදී ඔවුන්ට නොරිදෙන්නට ජනපතිවරයා විසින් වාචිකව ටොක්කක් ඇන්නාක් මෙන් කතාවක් කළේය

‘‘විදුලිබල මණ්ඩලයේ මේ සිදුවුණ ක‍්‍රියාව සම්බන්ධයෙන් ආණ්ඩුව විතරක් නෙවෙයි, මේ රටේ ජනතාවත් ඉන්නේ මේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග ගැන දැඩි අප‍්‍රසාදයක. මේක සරලව ගන්න එපා. මේ වෙච්ච දේ ජාතික ආරක්ෂාවට පවා විශාල තර්ජනයක්. ඔය හැමෝම මේ රටට ආදරේ කරන බුද්ධිමතුන් බව මම දන්නවා. උගත් වෘත්තිකයෝ හැටියට මම හිතනවා ඔයාලා මින් ඉදිරියට තම තමන්ගේ වගකීම් තේරුම් අරන් වැඩ කරයි කියලා. අපි එක බලාපොරොත්තු වෙනවා.”

ජනාධිපතිවරයාගෙ කතාබහින් පසුව ඉංජිනේරුවන් සහ විදුලි නිලධාරීන් අතර තරමක් උණුසුම් කතාබහක් ඇති විය. එකිනෙකා එකිනෙකාට ඇඟිලි දිගු කරමින් දොස් පවරන්නට වූහ.

‘‘ඔයාල මේකට බෙදිලා ගැටුම් ඇතිකර ගන්න එපා. ගැටුම් ඇති කර ගැනීම නෙවෙයි අවශ්‍ය. මේ වෙලාවේ අපි දෙගොල්ලා එකතුවෙලා හරි දේ කරන එක තමයි වැදගත්. මේක අපේ රට. රටට ඔයගොල්ලෝ සම්පත්. ඉතින් මේ රටේ ජනතාව ඔයගොල්ලන්ගෙන් වගකීමක් බලාපොරොත්තු වෙනවා. ජනතාව බලාපොරොත්තු වන දේ මොකක්ද කියල ඔයාලා තේරුම් අරන් වැඩ වැඩ කරන්න.

ඒ විතරක් නෙවෙයි… ඔයාලා රජයෙන් බලාපොරොත්තු වන යමක් තියෙනවා නම් සාධාරණ දෙයක්… ඒක අපිට කියන්න. අපි ඒ දේවල් දෙන්නම්. මම කියන්නේ මේක අපි අසීරුවෙන් ඔක්කොම එකතුවෙලා යන ගමනක්. අන්න ඒ ගමනට බාධා කරන්න විතරක් එන්න එපා…”.

‘‘මම ඔස්ලෝ ගිය වෙලාවේ කෙන්යාවේ ජනාධිපතිතුමා මට හමු වුණා. එතුමා කතා කරන විට කිව්වා අපි නම් දැන් 80% ක්ම බල ශක්තිය ලබාගන්නේ පුනර්ජනනීය බලශක්තියෙන් කියලා. එයා පුදුම කතාවක් කිව්වා.”

‘‘අපේ රටේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය අද සාර්ථක වෙලා තියෙන්නේ ඔබතුමාගේ රටේ ඉංජිනේරුවෝ නිසා. ඔබේ රටේ ඉංජිනේරුවෝ තමයි අපට අද ඒක කරලා දෙන්නේ.”

‘‘ඇත්තටම එතුමා එම එහෙම කියනකොට මට ලොකු සතුටක් ඇති වුණා. ආඩම්බරයක් ඇති වුණා. අපේ රටේ ඉංජිනේරුවරු ගිහින් එහෙ වැඩ කරනවා. එහාට පුනර්ජනනීය බලශක්තිය හදලා දෙනවා. ඇයි අපේ රටේත් ඒ ටික කරලා දෙන්න අපේ ඉංජිනේරුවන්ට බැරි කියලා මට හිතුනා.”