රුසියාව සමඟ යුද වැදීමට අමෙරිකානු හමුදා යොදවන්නේ නෑ

යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව රුසියාවට දැඩි බලපෑම් එල්ල කිරීමේ අරමුණින් සම්බාධක රැසක් පැනවීමට කටයුතු කළද, රුසියාව සමඟ යුද වැදීමට යුක්රේනයට අමෙරිකානු හමුදාව යැවීමට අදහසක් නැති බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබේ. කොංග්‍රස් මණ්ඩලය අමතා විශේෂ දේශනයක් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ තීරණය දැනුම් දී තිබේ.

රුසියානු – යුක්රේන යුද්ධයට යුදමය වශයෙන් මැදිහත් වීමට බලාපොරොත්තු නොවූවත්, නේටෝ සංවිධානයේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි පියවර ගන්නා බවත් ඔහු සඳහන් කර ඇත.

රුසියාව බටහිර දෙසින් නේටෝ රටවල් ආක්‍රමණය කිරීමට තීරණය කරන්නේ නම් නේටෝ කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමට අමෙරිකාව අවධානය යොමු කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

යුක්රේන අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහළ යෑමේ අවදානමක් මතු වීම මැඬ පැවැත්වීමට ඉන්ධන බැරල් මිලියන 30ක් මුදා හැරීමට පියවර ගන්නා බවත් ජෝ බයිඩ්න් කොංග්‍රස් මණ්ඩලයට දැනුම් දී තිබේ.