ශ්‍රී ලංකාවේ පැතුම අයිසීසී ඉනිමගේ උඩට යයි

ජගත් ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 9 වැනි ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබේ.

ඉන්දීය තරගාලියට පෙර පිතිකරුවන් අතර 15 වැනි ස්ථානයේ පසු වූ ඔහු ඉන්දියාවට එරෙහි දෙවැනි තරගයේදී ලකුණු 75ක් රැස් කරමින් දැක්වූ දස්කම් හේතුවෙන් ස්ථාන 6කින් ඉදිරියට ගොස් ඇත. පැතුම් සිය අන්තර්ජාතික ක්‍රිකට් තරග දිවියේ හිමි කර ගත් ඉහළම ස්ථානය ද මෙය වන අතර, මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවකු පළමු ස්ථානය 10 අතරට පිවිසි පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා නායක දසුන් ශානක ස්ථාන 18කින් ඉදිරියට ඒමට සමත්ව වීමෙන් පිතිකරුවන් අතර 46 වැනි තැනට පත්ව සිටියදී ඉන්දීය තරගාවලියේ වීරයා වූ ශ්‍රෙයාස් අයියර් ස්ථාන 27ක් ඉදිරියට එමින් 18 වැනි තැන අත් කර ගෙන සිටින අතර, ඉන්දීය නායක රෝහිත් ශර්මා ස්ථාන දෙකකින් (13) පහත බැස තිබේ. මේ ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන සිදු වීමක් වන්නේ ඉන්දීය හිටපු නායක විරාට් කෝලි 15 වැනි ස්ථානය දක්වා ස්ථාන 5කින් පහතට වැටී තිබීමය.

මේ අතර, ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියට පෙර විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසු වූ වනිඳු හසරංගට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එහි අවසන් තරග තුන මෙන්ම ඉන්දීය තරගාවලිය ද අහිමි විය. පසුගිය මස 16 වැනිදා ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි තැන දක්වා පහතට වැටුණු හසරංග මේ වන විට 6 වැනි ස්ථානයට පත්ව ඇත. තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ඔහුට හිමිව ඇත්තේ 10 වැනි ස්ථානයයි.

දකුණු අප්‍රිකාවේ ටබ්‍රයිස් ශම්සි තවමත් පන්දු යවන්නන් අතර පෙරමුණේ පසු වෙද්දී, වනිඳු පසු කරමින් අදිල් රෂීඩ්, ඇඩම් සම්පා සහ රිෂාඩ් ඛාන් ඉදිරියට ගොස් තිබේ. මහීෂ් තීක්ෂණ ද ස්ථාන 3කින් පහත බසිමින් 23 වැනි තැනට පත්ව ඇති අතර, දුෂ්මන්ත චමීර 29 (එක් ස්ථානයක්) සහ ළහිරු කුමාර 37 (ස්ථාන 3ක්) ඉහළට ගොස් තිබේ.