පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නන් දැඩි පරීක්ෂාවට

බස්, දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා භාවිත කරන පුද්ගලයන්ගේ රාජකාරී හැදුනුම්පත් අහඹු ලෙස පරීක්ෂා කරන ලෙසට පොලීසියට උපදෙස් ලබාදි ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

රට තුළ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ අත්යාවශ්‍ය කරුණක් සඳහා පමණක් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ලෙස මගී ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ආසන සංඛ්‍යාව ඉක්මවා මගින් රැගෙන යන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගෙන නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් පසුගිය සතියේ සිට ක්‍රියාත්මක බවත් ඔහු පැවසීය.

නිරෝධායන නීතිවලට යටත්ව සියලුම මගී ප්‍රවාහන බස් රථ වල මගින් ප්‍රවාහනය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් බස් රථ හිමියන්ට සහ රියැදුරු කොන්දොස්තර වරුන්ට දැනුම් දී ඇතැයිද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නොතකා බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් කටයුතු කරන බවට විශාල පැමිණි සංඛ්‍යාවක් ලැබී ඇති බැවින් මෙම පියවර ගත් බවද අමාත්‍යරයා වැඩිදුරටත් සඳහන් කළේය.