අපි අභියෝගවලට මුහුණදීමට සූදානම්…අවශ්‍ය වන්නේ ජනතාවගේ එකමුතුකමයි – ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ජාතිය අමතමින් ප්‍රකාශ කරයි

අභියෝගවලට මුහුණදීමට රට සූදානම් බවත් අවශ්‍ය වන්නේ ජනතාවගේ එකමුතුකම බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. කොරෝනා වෛරසය ව්‍යාප්තවීමෙන් මේ වන විට ශ්‍රී ලංකාව තුළ උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳ ජාතිය අමතමින් ජනාධිපතිවරයා අද (17 වැනිදා) මේ බව කියා සිටියේය. එහිදී ජනාධිපතිවරයා ජාතිය අමතමින් සිදුකළ සම්පූරණ ප්‍රකාශය මෙහි දැක්වේ.
අද මා ඔබ අමතන්නේ කොරෝනා වෛරසය හෙවත් කොවීඞ් -19 වෛරසය සම්බන්ධයෙන් අප ගෙන ඇති පියවර සහ වර්තමාන තත්වය ගැන ඔබ දැනුවත් කිරීමටයි.
මේ වසරේ ජනවාරි මාසයේදී කොරෝනා වෛරසය පිළිබඳව ලෝක අවධානය යොමුවෙද්දී චීනයේ වූහාන් ප්‍රදේශයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් 34 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනීමට මා තීරණය කළා. ඒ වන විට කිසිදු කොරෝනා වෛරස් ආසාදිතයකු ලංකාවෙන් වාර්තා වී නොතිබුණත් මෙම වෛරසයෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා අපි ජනවාරි මස 26 වැනිදා විශේෂ ජාතික කාර්ය සාධක කමිටුවක් පිහිටුවන්නට කටයුතු කළා.
ජනවාරි මස 27 වැනිදා ලංකාව තුළ ප්‍රථම කොරෝනා වෛරසය ආසාදිතයා ලෙස ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටි චීන ජාතික කාන්තාවක් හඳුනාගනු ලැබුවා. ඇයව වහාම අයිඩීඑච් රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර කළා. ඇය පෙබරවාරි 19 දා වනවිට සම්පූර්ණයෙන් සුවය ලබා ලංකාවෙන් පිටව ගියා.
විශේෂ ගුවන් යානයකින් ලංකාවට රැගෙන එන ලද ශ්‍රී ලාංකික සිසුන් මත්තල ගුවන් තොටුපළේදී නිරෝධායනයට ලක්කොට දියතලාවේ විශේෂයෙන් සකස් කළ නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන ගියා. ඔවුන් කඳවුර තුළ දින 14 ක් නිරෝධායනයට ලක්ව පෙබරවාරි මස 14 දා සුරක්ෂිතව නිවෙස් බලා ගියා. මේ කාලයේ ගුවන් තොටුපළෙන් ලංකාවට පැමිණෙන්නන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ මූලික පරීක්ෂාවන් ගුවන් තොටුපළේදීම සිදු කරන්නටත් ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමටත් කටයුතු සලසා තිබුණා.
පෙබරවාරි 26 දා ආසාදිත චීන කාන්තාව හඳුනාගැනීමෙන් පසු මාසයක් පමණ කාලයක් තුළ අනෙකුත් කිසිදු රෝගියෙක් ගැන වාර්තා වූයේ නැහැ. චීනයෙන් පිට වෙනත් රටවලටද වෛරසයේ අවදානම පැතිරුන නිසා ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය යන රටවලින් පැමිණෙන ගුවන් මගීන් දින 14 ක නිරෝධායනයකට ලක් කිරීමේ තීන්දුවක් ගත්තා. ඒ තීරණය ගත්තේ මාර්තු මස 10 දායි. මේ අනුව කන්දකාඩු හා මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත මගීන් යොමු කිරීම ආරම්භ වුණා. මෙය මුලින්ම ආරම්භ වූ අවස්ථාවේ ඉතාලියේ හා කොරියාවේ සිට පැමිණි යම් මගීන් දැඩි ලෙස විරෝධය පෑ අතර නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යන අතර පැන යාමට පවා සමහරුන් තැත් කොට තිබුණා.
මාර්තු මස 11 දා අපට කොරෝනා ආසාදිත පළමුවන ශ්‍රී ලාංකිකයා වාර්තා වුණා. ඒ ඉතාලි ජාතික සංචාරකයන්ට මග පෙන්වන සංචාරක උපදේශකවරයෙක්. නිරෝධායන මධ්‍යස්ථාන තුළ හා ඉන් පිටත අප විසින් කරන ලද පරීක්ෂණ වලින් තව තවත් ආසාදිතයන් හමුවන්නට පටන් ගත් අතර මේ වනවිට ආසාදිතයන් 34 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඉන් ජර්මනියේ සිට පැමිණි සිව් දෙනෙකු හැර අන් සියලු දෙනාම ඉතාලියේ සිට පැමිණි අය හෝ ඔවුන් සමඟ සම්බන්ධතා පැවැත් වූ අය වීම විශේෂිතයි.
මාර්තු 13 දා සිට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන සංචාරකයන් නිරෝධායනය කිරීම ආරම්භ වුණා. මෙයට ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය හා ඔස්ටි්‍රයාවත් එකතු වුණා.
මේ වනවිට එංගලන්තය, බෙල්ජියම, නෝර්වේ, කැනඩාව, කටාර් හා බහරේන් රටවලින් එන අයත් නිරෝධායනයට ලක් වෙනවා. හෙට සිට නැවත දන්වන තුරු සියලුම සංචාරකයන් පැමිණීම නවතා දමනු ලබනවා.
මාර්තු මස 10 වැනිදා කන්දකාඩු හා පූනානී නිරෝධායන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ සිට මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන 16 ක් ආරම්භ කොට තිබෙනවා. අද උදෑසන 6 වනවිට මගීන් 1882 ක් මේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කොට තිබුණා. ඉන් 92ක් මේ වනවිට විවිධ රෝහල් වෙත යොමු කොට තිබෙනවා. අපට මේ මොහොතේ ඇති මූලික ගැටලුවක් වන්නේ මාර්තු මස 10 වැනිදා ආරම්භ වූ නිරෝධායන ක්‍රියාවලියට පෙර සති දෙක තුළ අවදානම් සහිත රටවලින් 2000 කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට ඇතුළු වී තිබීමයි.
දැනට හඳුනාගෙන ඇති ආසාදිතයන් 34 දෙනාගෙන් 19 දෙනෙකු හඳුනාගෙන තිබෙන්නේ නිරෝධායන මධ්‍යස්ථානවලිනුයි. ඔවුන් සියලු දෙනාම ඉතාලියේ සිට පැමිණි අයයි. ඉතුරු අය නිරෝධායන ක්‍රියාවලියට පෙර ලංකාවට පැමිණි අය හෝ එසේ පැමිණි අය හරහා ආසාදනය වූ පුද්ගලයන් වෙනවා.
අපි නිරෝධායනය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් ඉහත සඳහන් රටවලින් ලංකාවට පැමිණි සෑම දෙනෙක්ම මෙන්ම ඔවුන්ගේ ලඟම ඥාතීන් හඳුනාගෙන ඔවුන්ගේ නිවාසවලම ස්වයං නිරෝධායනයකට ලක් කිරීමට අප තීරණය කොට තිබෙනවා. මේ සඳහා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ග්‍රාම නිලධාරීන් යොදවන අතර ඔවුන්ට සම්පූර්ණ සහය දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.
වෙනත් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයන් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස මා ඉල්ලා සිටිනවා. අපි රජයෙන් විශේෂ නිවාඩු දිනයක් ලබා දුන්නේ වෛරසය පැතිරීම අවම කිරීමටයි. එය නිසි අයුරින් භාවිතා කිරීමට නම් ගමන් බිමන්, සමූහ වශයෙන් එක්වීම, උත්සව හා සාද වලින් සම්පූර්ණයෙන් වැලකී සිටින ලෙස මා ඉල්ලා සිටිනවා. මේ තත්වය පාලනයට මෙතෙක් අප ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඔබ විසින් ඔබට ලබා දී ඇති උපදෙස් පිළිපැදීමත් මත මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් පාලනය කරන්නට අපට පුළුවන්.
රජයක් වශයෙන් රටේ ජන ජීවිතය පවත්වාගෙන යාම අපේ මූලික වගකීමයි. ජනතාවගේ විවිධ අවශ්‍යතා ඉටුකිරීමට රජය මැදිහත් විය යුතුයි.
රටේ සමහර පළාත්වල මේ වනවිට නියඟයක් පවතිනවා. ඒ පළාත්වල ජනතාවට අපි පානීය ජලය ලබා දිය යුතුයි. සමහර පළාත්වල යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමට මඩ පොහොර ලබා දිය යුතුයි. තවත් පළාත්වල අස්වැන්න නෙළන නිසා රජය වී මිලදී ගැනීමට කටයුතු කළ යුතුයි. එළවළු වෙලාවට මිලදී ගත්තේ නැත්නම් එළවළු ගොවියන් අසීරුවට පත් වනවා. ඒ වගේම එළවළු අඛණ්ඩව වෙළඳ පොළට ගෙන ඒමත් අවශ්‍යයි. ඒ වගේම ජීවන වියදම අපි පාලනය කළ යුතුයි.
රාජ්‍ය නිලධාරීන් රාජකාරිවල යෙදුණේ නැත්නම් මේ සියල්ල අඩාල වෙනවා. අප තීරණ ගත යුත්තේ සමස්තය දෙස බලායි. නොවැම්බර් 16 වැනිදා අප ලද ජයග්‍රහණයෙන් පසු අපට පිහිටුවන්නට හැකි වූයේ සුලුතර රජයක්. මා බලයට පත්වන විට පසුගිය ආණ්ඩුව විසින් අයවැයක් සම්මත කොට තිබුණේ නැහැ. රට පවත්වාගෙන ගියේ අතුරු සම්මත ගිණුමකිනි. බොහෝ අත්‍යවශ්‍ය ගෙවීම් සඳහා මුදල් අනුමත කොට තිබුණේ නැහැ. පොහොර සඳහා, බෙහෙත් සඳහා, ආහාර සැපයුම් කරුවන් සඳහා, ඉදිකිරීම්කරුවන් සඳහා මුදල් ගෙවා තිබුණේ නැහැ. අපි මේවා සඳහා අතුරු සම්මත ගිණුමක් සම්මත කරගන්නට උත්සාහ කළා. එයට විපක්ෂයේ සහාය ලැබුණේ නැහැ. මේ තත්වය යටතේ මා ඔබට පොරොන්දු වූ වගකීම් ඉටුකිරීමට පුළුවන් කමක් තිබුණේ නැහැ. සුළුතර ආණ්ඩුවකට මේ මුදල් පාර්ලිමේන්තුව තුළ අනුමත කරගන්නට බැහැ.
ඒ නිසා තමයි මට ලැබුණු පළමු අවස්ථාවෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර නව රජයක් පිහිටුවා ගැනීමට මැතිවරණයක් කැඳවනු ලැබුවේ. පාර්ලිමේන්තුව විසිරවීමත් සමග ව්‍යවස්ථාවෙන් ලැබුණ බලතල අනුව මා අතුරු සම්මත ගිණුමක් අනුමත කළා. ඒ අනුව අත්‍යාවශ්‍ය වියදම් සඳහා මුදල් ගෙවීම ආරම්භ කළා. වත්මන් ආපදා තත්වයට මුහුණදීමටත් අපට හැකි වුණේ ඒ නිසායි.
නමුත් මැතිවරණයක් පවත්වා අලුත් ස්ථාවර රජයක් ස්ථාපිත කොට නව අයවැයක් සම්මත කොට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මා ඔබට පොරොන්දු වූ පරිදි, සහන ලබා දීම, රැකියා ලබාදීම, කෘෂිකර්මය නගා සිටවීම ඇතුළු සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා පරිණත දේශපාලනඥයෙක් වූ, ජනතා ජනාදරයට පත්වූ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් ප්‍රබල රජයක් බිහිකිරීමට මා වටා එක්වන ලෙස මා ඉල්ලා සිටිනවා.
මේ අවස්ථාවේ අපේ වගකීම වන්නේ රජය නිසිලෙස පවත්වාගෙන යාමයි. මොනම හේතුවක් නිසාවත් රජය අකර්මන්‍ය වන්නට ඉඩහරින්නට බැහැ. අප දුරදිග නොබලා කටයුතු කළහොත් සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය හැකියි. නායකයන් ක්‍රියාකළ යුත්තේ ආත්ම විශ්වාසයකින් යුතුවයි. ජනතාව තුළ අනිසි බියක් ඇති නොකළ යුතුයි.
අප මේ අවස්ථාවේ කළ යුත්තේ ලංකාවට වෛරසය ඇතුල්වීමට හා එය රට තුළ පැතිරීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. ඒ සඳහා කළ යුතු දේ අප දැනටමත් හඳුනාගෙන ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය බලතල කාර්ය සාධන බළකායට ලබාදී තිබෙනවා.
අපි මින් පෙරත් අභියෝගවලට මුහුණ දී ජයගෙන තිබෙනවා. අපි අභියෝගවලට මුහුණ දීමට සූදානම්. ඒ සඳහා අපට අවශ්‍යවන්නේ එකමුතුකමයි. ඒ නිසා මා ඉල්ලා සිටිනවා ජනතාවට මේ අවස්ථාවේ වගකීමෙන් කටයුතු කරන ලෙස.
මේ අතර ජනතාවගේ එදිනෙදා ජීවිතය පහසු කිරීම සඳහා ඔවුන්ගේ පරිභෝජන තත්වය තහවුරු කිරීමට මා අදහස් කරනවා. සහල් සැපයුම දැනටමත් ස්ථාවර කොට තිබෙනවා. රටේ ජන ජීවිතයට බාධා නොවන පරිදි අවශ්‍ය රාජ්‍ය සේවාවන් බැංකු මූල්‍ය වෙළෙඳ කටයුතු, ප්‍රවාහන කටයුතු අවම පිරිස් යොදා කිරීමට සැලසුම් කොට තිබෙනවා. සෑම වෙළඳ සැලකම අද රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක් රුපියල් 65 ක උපරිම සිල්ලර මිලකට විකිණීමට මා නියෝග කොට තිබෙනවා. එමෙන්ම සැමන් ටින් එකක් රුපියල් 100 කට ලබා දීමටත් කටයුතු කරනවා. තවත් සහන ඉදිරියේදී ලබා දීමට ක්‍රියා කරනවා.
රටේ ව්‍යාපාර කටයුතුවලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6 කට නතර කිරීමට මම නියෝග කරනවා. එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය 4% ක පොලියකට ලබා දීමට කටයුතු කරනවා. ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පලුදු නොකරන බව මා ඔබට සහතික වෙනවා. ඔබෙත් මගෙත් රට අද සුරක්ෂිතයි.