මීට පස්සෙ දේශපාලනඥයන් පස්සෙ යන්න අවශ්‍ය නැහැ – නාමල් කියයි

මින් පසුව ඇප්ලිකේෂන් එකේ ප්‍රින්ට් එකක් අරගෙන තමන්ගේ ගමේ දේශපාලනඥයා කරා යන්නට අවශ්‍ය
නැතැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ප්‍රථම වරට වයස අවුරුදු 15ට වැඩි ශ්‍රී
ලාංකේය තරුණ තරුණියන්ට ඩිජිටල් හැඳුනුම්පත (Digital Youth ID) හඳුන්වාදෙමින් පසුගිය දා කොළඹ
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වැඩසටහනේ දී අමාත්‍යවරයා එසේ
පැවසීය.

‘මේ යෞවන සමාජ සම්මේලන තුළ සිටින තරුණයා ඇප්ලිකේෂන් එක ප්‍රින්ට් කරගෙන අපි ගාවට ගෙනැත්
දෙන්න අවශ්‍ය නැහැ. ඇප්ලිකේෂන් එකේ ප්‍රින්ට් එකක් අරගෙන තමන්ගේ ගමේ දේශපාලනඥයා කරා
යන්න අවශ්‍ය නැහැ. මේDigital Youth ID එක ඇතුළේ තමන්ගේ සියලු විස්තර තිබෙනවා’යැයි අමාත්‍යවරයා
එහිදී පැවසීය.
ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව තිබෙන Block Chain තාක්‍ෂණය උපයෝගී කරගත් තොරතුරු තාක්‍ෂණ
මෙවලමක් භාවිත කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම අනුව ජාතික තරුණ සේවා
සභාව විසින්මෙම හැදුනුම්පත සකස් කොට ඇති අතර, මෙහි විශේෂත්වය වනුයේ අදාළ තරුණයාගේ හෝ
තරුණියගේ නිපුණතාවයන් අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් හා වෙනත් සුදුසුකම් ඇතුළත් දත්ත බැංකුවක්
ලෙස මෙය ප්‍රයෝජනයට ගත හැකිවීමයි.

මෙම හැදුනුම්පත ඔස්සේ ඇති තොරතුරු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා යෝජකයින් තම කාර්ය
මණ්ඩල අවශ්‍යතාවයන් සපුරා ගැනීමේදී දත්ත බැංකුවක් ලෙස භාවිත කරන නිසා මෙමගින් තරුණ
තරුණියන්ට සෘජුවම රැකියා අවස්ථා ලබාගැනීමේ අවස්ථාව උදාවේ.

තරුණ තරුණියන්ට තම උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අවස්ථා සඳහා සෘජුවම ඕනෑම ආයතනයක
ලියාපදිංචිවීමට මෙන්ම මේ සමග සම්බන්ධ වන පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වලින්
ආකර්ෂණීය වට්ටම් ලබාගැනීමේ අවස්ථාව ද මෙම හැදුනුම්පත හරහා ලබා ගත හැක.

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ විස්තර ද මෙම හැඳුනුම්පතේ දත්ත මඟින් ලබාගත හැකි වීමද මේ
තුළින් තරුණ ප්‍රජාවට ලැබෙන තවත් ප්‍රතිලාභයකි.

වයස අවුරුදු 15 සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ ඕනෑම තරුණයෙකුට හෝ තරුණියකට ජාතික තරුණ සේවා
සභාව හරහා මෙම ඩිජිටල් හැදුනුම්පත (Digital YouthID) ලබාගත හැකි අතර තම හැකියා හා දක්ෂතාවයන්
මත රැකියා ක්ෂේත්‍රයට සහ ව්‍යවසාය ක්ෂේත්‍රයට යොමුවන තරුණ පිරිස් වලට පුළුල් පරාසයක් ඔස්සේ
විහිදුණු ප්‍රතිලාභ සහ අවස්ථාවන් මෙමගින් ලබාගත හැක.