කොදෙව්වන්ට ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැති දෙවැනි තරගය ලකුණු 17කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම ඊයේ (14 වැනිදා) සමත් විය. ඒ අනුව දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී 2-0ක් ලෙස පූර්ණ තරගාවලිය ජයක් හිමිකර ගැනීමට කොදෙව්වෝ සමත් වූ අතර ඔවුන් ආසියවේදී ටෙස්ට් තරගාවලියන් ජයගත්තේ 2012න් පසුවය.
ධකා ක්‍රීඩාංගණයේ සිව්වැනි ඉනිමේදී ලකුණු 231ක ඉලක්කයක් හඹාගිය සත්කාරක බංග්ලාදේශ පිතිකරුවෝ තරගයේ සිව්වැනි දිනය වූ ඊයේදී ලකුණු 213කට සියලු දෙනා දැවී ගියේය.
බංග්ලාදේශ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක් එක් කිරීමට තමිම් ඉක්බාල් සහ සෞම්‍ය සර්කාර් සමත් විය. එහිදී තමිම් ඉක්බාල් පන්දු 46කදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්විය. අනතුරුව කිසිදු පිතිකරු යුගලයකට සාර්ථක සම්බන්ධාතවක් ගොඩනැගීමට ඉඩ ලබා නොදුන් කොදෙව් පන්දු යවනේනෝ බංග්ලාදේශ පළමු කඩුලු 5 මුලු ලකුණු 115දී දවා ගැනීමට සමත්වූහ.
බංග්ලාදේශ පළමු ඉනිමේ කඩුලු 5ක් බිඳ දැමූ රහීම් කෝන්වෝල දෙවැනි ඉනිමේදී තවත් ප්‍රතිවාදි කඩුලු 4ක් බිඳ දැමීමට සමත් විය. ජොමෙල් වොරිකන් සහ ක්‍රේග් බ්‍රත්වේට් බංග්ලාදේශ දෙවැනි ඉනිමේ කඩුලු 3 බැගින් බිඳ දැමීය.
ලකුණු තත්ත්වය
බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම 409/10 දෙවැනි ඉනිම 117/10
බංග්ලාදේශ පළමු ඉනිම 296/10 දෙවැනි ඉනිම 213/10