කොදෙව්වෝ විස්සයි විස්ස තරගාවලිය ජය ගනිති

සත්කාරක බටහිර ඉන්දීය කොදෙව්වන සමගින් ක්‍රියාත්මක විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තෙවැනි සහ අවසන් තරගය ශ්‍රී ලංකාව අද (09 වැනිදා) කඩුලු 3කින් පරාජයට පත් විය. ඒ අනුව 2019 වසරෙන් අනතුරුව මේ දක්වා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් ජයගැනීමට නොහැකිව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද ලද පරාජයත් සමගින් කොදෙව්වන්ට එරෙහි විස්සයි විස්ස තරගාවලියද 2-1ක් ලෙසින් පරාජයට පත් වූහ.
අන්ටිගුවාහිදී ලකුණු 132ක පහසු ජයග්‍රහි ඉලක්කයක් හඹා යෑම සඳහා කොදෙව් ඉනිම ආරම්භ කළ ලෙන්ඩිල් සීමන්ස් සහ එවින් ලෙවිස් පළමු කඩුල්ලට පන්දු 28කදී ලකුණු 37ක් එක් කළේය. එම සම්බන්ධතාවට නැවතීමේ තිත තැබූ වනිදු හසරංග එවින් ලෙවිස් ලකුණු 21ක් ලබා සිටයදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට සමත්විය. ඒ අනුව අද තරගයේදීත් සිය කඩුලු දඩයම ඇරැඹු වනිදු තමාගේ දෙවැනි පන්දුවාරයේදී ලකුණු 26ක් ලබා සිටි ලෙන්ඩි සීමන්ස් ස්ටම්ප් කිරීමකට හසුකර දවා ගැනීමට සමත්වීම මත කොදෙව් ඉනිමේ මුලු ලකුණු 54දී දෙවැනි කඩුල්ල අහිමි වී ගියේය.
පළමු තරගයේදී ශ්‍රී ලංකාව පරාජයට තල්ලුකර දැමූ කිරන් පොලඩ් අද තරගයේදී ලකුණු නොලබා පිටියෙන් ඉවත් කිරිමට දුෂ්මන්ත චමීර සමත් විය. අනතුරුව වසර දෙකකට පසු කොදෙව් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිස් ගේල් තරගාවලිය පුරාවටම අසාර්ථක පිතිකරුවෙක් බවට පත් වෙමින් අද දිනයේදී ලකුණු 13කට පිටියෙන් ඉවත් කිරීමට ලක්ෂාන් සඳකැන් සමත් වීම මත තරගයේ 11 වැනි පන්දුවාරය නිමාවට පත්වෙද්දී තරගයේ ජයග්‍රහණය දෙපිළටම fදාළනය වන්නට විය.
තරගයේ 16 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ලක්ෂාන් සඳකැන් පිට පිටම පන්දු දෙකකදී රවුමාන් පවෙල් සහ ඩ්වෝන් බ්‍රාවෝගේ කඩුලු දවා ගැනීමට සමත් වීම මත කෙදෙව් ඉනිම් කඩුලු 7කට ලකුණු 105ක් ලෙසින් සටහන්වී තිබිණි. තරගයේ අවසන් පන්දු 12කදී ජයග්‍රහණය සඳහා ලකුණු 20ක අභියෝගයක් සටහන් වෙද්දී අකිල ධනංජය ක්‍රියාත්මක කළ තරගයේ 19 වැනි පන්දුවාරයේදී දැවැන්ත හයේ පහර 3ක් සමගින් පන්දු 6කට ලකුණු 21ක් ලබා ගත් ෆේබියන් ඇලන් තවත් පන්දුවාරයක් ඉතිරව තිබියදීම තරගය හමාර කර දැම්මේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ මුල්පෙළ කඩුලු 4 මුලු ලකුණු 46දී අහිමි වී ගියේය. ශ්‍රී ලංකා ඉනිමේ බලාපොරොත්තුව බවට පත්ව තිබූ ධනුෂ්ක ගුණතිලික ලකුණු 9කට පිටියෙන් ඉවත් කිරීමට ෆේබියන් ඇලන් සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවෙදී පන්දු යැවූ ඇලන් විසින්ම තණතීරුව තුළදී ලබාගත් දක්ෂ උඩපන්දුව මත ශ්‍රී ලංකා පළමු කඩුල්ල අහිමිවී වෙද්දි මුල් පෙළ බිඳ වැටීම ආරම්භ විය. පළමු තරග දෙකේදීම ශ්‍රී ලංකා මුල් පෙළ ශක්තිමත් කළ පැතුම් නිශ්ශංක පන්දු 13කට මුහුණ දී ලකුණු 5ක් පමණක් ලබා සිටියදී ජේසන් හොල්ඩර් ගේ පන්දුවක් හමුවේ කෙවින් සින්ක්ලෙයාර් අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගියේය.
ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 4ක් පන්දුවාර 10ක් තුළදී බිඳ වැටීමේන් පසු සිය කණ්ඩායමේ බර කරපින්නා ගත් දිනේෂ් චන්දිමාල් සහ අශේන් බන්ඩාර සෙමින් සෙමින් ශ්‍රී ලංකා ඉනිමි ගොඩ නැගීය. ඒ අනුව අවසන් පන්දුවාර 10දී ලකුණු 81ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කළ චන්දිමාල් සහ බණ්ඩාර කොදෙව්වන්ට සටනක් දි ය හැකි ලකුණු පුවරුවක් නිර්මාණය කළේය. සිය 5 වැනි විස්සයි විස්ස අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්වූ චන්දිමාල් පන්දු 46කදී හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 54ක් රැස් කළේය. ආශේන් බණ්ඩාර පන්දු 35කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 44ක් රැස් කිරීමට සමත්විය.
ශ්‍රී ලංකා ඉනිමේ හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් පමණක් වාර්තා වෙද්දී කොදෙව් ඉනිමේ හතරේ පහර 7ක් සහ හයේ පහර 9ක් වාර්තා විය. තරගාවලියේ කඩුලු 8ක් දවා ගැනිමට සමත් වූ වනිදු හසරංග තරගාවලිය වීරයා ලෙසින සම්මාන හිමකර ගැනීමට සමත් වෙද්දී කෙදෙව් ඉනිම ජයග්‍රහණය කරා ගෙන ගිය ෆේබියන් ඇලන් තරගයේ වීරය බවට පත්විය.