ලෝක ශූරතා රෝද පුටු ටෙනිස් තරගාවලියේ දී 06 ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින්ටත් අමාත්‍යංශයෙන් අගැයීමක්.

ක්‍රීඩාවේ ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යාමට අවශ්‍ය මාවත නිර්මාණය කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය ප්‍රමුඛ
ආයතන සියල්ල නිරන්තර සූදානමින් සිටින බව තරුණ හා ක්‍රීඩා , සංවර්ධන සම්බන්ධීකරණ හා
අධීක්ෂණ අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ
මහතා පැවැසීය.

පසුගියදා පැවති ලෝක ශූරතා රෝද පුටු ටෙනිස් තරගාවලියේ දී 06 ස්ථානයට පැමිණි ශ්‍රී ලාංකීය
ක්‍රීඩකයින් අගයමින් ඊයේ (06) දින තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවති උත්සවයේදී අමාත්‍යවරයා
මේ බව කියා සියියේය.
පසුගිය සැප්තැම්බර් මස 27 සිට ඔක්තෝම්බර් 03 දක්වා රටවල් 16ක සහභාගීත්වයෙන් ඉතාලියේ
සාඩිනියා නගරයේ පැවති ලෝකශූරතා රෝදපුටු ටෙනිස් තරගාවලියේ දී 06 වන ස්ථානය ජයග්‍රහණය
කිරීමට ශ්‍රී ලංකා රෝද පුටු ටෙනිස් කණ්ඩායම සමත් විය.

පවතින වසංගත තත්ත්වය හමුවේ වුවද ජගත් වැලිකල මහතාගේ පුහුණුකිරීම් හා මග පෙන්වීම යටතේ
සුරේෂ් ධර්මසේන, ලසන්ත රත්නවීර, ඩී.එම්. ගාමිණි යන ක්‍රීඩකයින් තිදෙනා මෙම තරගාවලියේදී ශ්‍රී
ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම්වල 06 වන ස්ථානය දක්වා ඔසවා තැබීය.

එහිදී අමාත්යතවරයා මෙසේ ද කීය.
‘‘ඉතිහාසයේ පළමු වතාවට අපේ රෝද පුටු ටෙනිස් කණ්ඩායමට ලෝකයේ 06 වන ස්ථානය ලබාගත
හැකි වී තිබෙනවා. මෙතෙක් අපි බලාපොරොත්තු වූ ඉලක්කයන් සියල්ල අභිබවා යන්න මේ තරුණ
ක්‍රීඩකයින්ට හැකියාව ලැබිලා තිබෙනවා. අද ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂී දිනයක්.
අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් තම ක්‍රීඩා සැලැස්ම පිළිබදව හා තමන්ට මුහුණ දෙන්න තිබෙන
අභියෝග පිළිබදව ඉතාමත් අනාගතවාදීව සහ බලාපොරොත්තු සහගතව බලන්න පුළුවන් පිළිතුරක් මේ
ක්‍රීඩකයින් ඔබට ලබා දී තිබෙනවා. අමාත්‍යංශයක් විදියට අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නෙ
ජාත්‍යන්තරය ජයගන්න පුළුවන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කරන්න.
ග්‍රාම නිළධාරී කොට්ඨාශ තරගාවලිය ජයග්‍රහණය කරන එක, පසු කාලීනව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ
තරගාවලි ජයග්‍රහණය කරන එක ලොකු ජයග්‍රහණයක් කියලා උනන්දු වුණ කාලයක් තිබුණා.තවත්
කාලෙක දිස්ත්‍රක්කය ජයග්‍රණහණය කිරීමත්, පළාත් ජයග්‍රහණය කිරීම, ඒ කියන්නේ ජාතික ක්‍රීඩා
උළෙල ජයග්‍රභහණය කිරීම තමයි ලබන ලොකුම ජයග්‍රහණය විදියට දැක්කේ.අද අපි එතනින් එහාට යා
යුතුයි.
එයට හොදම උදාහරණය පැරාලිම්පික් රන් පදක්කමක් දිනාගත්තා, රෝදපුටු ටෙනිස් කණ්ඩායම
ලෝකෙන්ම 06 වෙනි ස්ථානයට පත් වුණා.
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන් බිහිවුණා. උස පැනීමේන් දකුණු ආසියානු වාර්තාවක්
තබන්න හැකිවෙලා තිබෙනවා. කාන්තා මේස පන්දු ක්‍රීඩිකාවන් 12 වෙනි ස්ථානය දිනාගෙන තිබෙනවා.
වොලිබෝල් කීඩාවෙන්ද ලෝකශ්‍රේණිගත කිරීම්වල 50 වෙනි තැන රැදෙන්න අපිට හැකියාව ලැබුණා.
ජාත්‍යන්තර ජයග්‍රහණ කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි කියන කාරණය‍ පිළිබඳ
අපි අමාත්‍යංශයක් විදියට විශ්වාස කරනවා. එහි ප්‍රතිඵල අපිට දකින්න ලැබෙනවා.
විශේෂයෙන්ම අද මම රෝදපුටු ටෙනිස් කණ්ඩායමට සුබ පතනවා. ඔවුන් විශාල කැපකිරීමක් කළා
පහුගිය කාලය පුරාවටම. අපි ඒක දැක්කා.ජාතික ක්‍රීඩා සභාව ඒ සඳහා සහයෝගය ලබා දුන්නා.
මේ ජයග්‍රහණය දැනගත් වහාම මම SLT මොබිටෙල් ආයතනයට කතා කළා.
අපි කාර්ය සාධනය පාදක කරගත් දිරි දීමනා ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ. මේ සදහා අපි SLT
මොබිටෙල් ආයතනයේ අනුග්‍රහය ඉල්ලුවා.
ඉතාම උද්යෝගයෙන් දින කිහිපයක් ඇතුළත අවශ්‍ය සියලුම වැඩ කටයුතු සිදු කර ක්‍රීඩකයන් සඳහා ඒ
අදාළ දීමනා ලබා දෙන්න ඔවුන් කටයුතු කළා.
කොවිඩ් 19 වසංගතය සමග වෙනදා මෙන් ලොකු උත්සවයක් පවත්වන්න බැහැ. නමුත් මෙවැනි චාම්
උත්සවයකින් හෝ ඔවුන්ව දිරි ගන්වන්න ලැබීම පිළිබදව සතුටු වෙනවා.
06 වන ස්ථානයේ නතර නොවී පළමු වන තැනට ඉතාමත් කෙටි කාලයකින් පැමිණීමට හැකියාව
ලැබේවා‘යි ප්‍රාර්ථනා කරනවා.‘‘
SLT මොබිටෙල් ආයතනය විසින් ජයග්‍රාහී රෝදපුටු ටෙනිස් කණ්ඩායමට සුබ පැතුම් එක් කරමින්
ක්‍රීඩකයන් තිදෙනාට රුපියල් දසලක්ෂය බැගින් සහ පුහුණුකරු වෙත රුපියල් දෙලක්ෂ පනස් දහසක
මූල්‍යමය ප්‍රදානයක් දෙමින් ඔවුන්ට දිරිගැන්වීම් ලබාදුණි.
මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ක්‍රීඩා සංවර්ධන
දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික පැරාලිම්පික් කමිටුවේ ලේකම්
බ්‍රිගේඩියර් බන්දුල බණ්ඩාර, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත්
සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.