එන්.ඕ.සී. හිටපු උප සභාපති ඩයන් ගෝමස් එන්.ඕ.සී.ය පතුරු ගහයි, ඔලිම්පික් උළෙලේදී රටට කරපු අගෞරවය ගැන රජය ප්‍රශ්න කළ යුතුයි

ජාතික ඔලිම්පික් කමිටුවෙ උත්තර “නටන්න බැරි මිනිහට පොළොව ඇදයි“ වගේ කතා

 

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙ‍ලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගවැදී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සපයා ඇති ඇඳුම් වල ශ්‍රී ලංකා ධජය මුද්‍රණය නොකර තිබීම මේ වන විට දැඩි කතා බහට ලක්වී ඇත. ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අනුග්‍රාහකත්වය දැක්වීමට මෙරට සුප්‍රසිද්ධ ඇඟළුම් ආයතන ඉදිරිපත්ව සිටියදී මෙසේ අසම්පූර්ණ මෙන්ම ලොව ඉහළම ක්‍රීඩා උළෙල සඳහා තමන් නියෝජනය රටට අගෞරවයක් වන ආකාරයේ නිල ඇඳුමකින් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් එහි සම්පූර්ණ වගකීම ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව (එන්.ඕ.සී.) බාරගත යුතුය.

තත්වය එසේ වුවද එම අයහපත් සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ටෝකියෝ නුවරට ගොස් සිටින මෙවර ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා මාධ්‍ය සම්බන්ධීකාරක චන්දන ලියනගේ මහතා පවසා ඇත්තේ ක්‍රීඩක ඇඳුමේ ශ්‍රී ලංකා ජාතික ධජය මුද්‍රණය කිරීම සඳහා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් (අයි.ඕ.සී.) අවසර ගත යුතු බවයි. තවද එකී අවසරය ලබා ගත යුත්තේ අදාළ ක්‍රීඩාවේ අන්තර් ජාතික ක්‍රීඩා සංගමය හරහා ජාතික සංගමය විසින් බවද ලියනගේ මහතා තවදුරටත් පවසා ඇත.

මෙම ප්‍රකාශය පාඨකයා මෙන්ම සියලු දෙනා නොමඟ යවන අසත්‍ය සහ වගකීම් විරහිත පුකාශයකි. මෙවන් ක්‍රීඩා උළෙලකදී අනුග්‍රාහක ගිවිසුම් කඩවන ආකාරයේ ලංඡන සඳහා හැර ක්‍රීඩකයෙකුට තමන් නියෝජනය කරනා රටේ ජාතික ධජය නිල අඳුමක මුද්‍රණය කිරීමට කිසිදු අවසරයක් අවශ්‍ය නැත. වසර 4කට වරක් පැවැත්වෙන ඔලිම්පික් උළෙලකට සූදානම සඳහා ඕනෑ තරම් කාලය තිබියදී මෙවන් නිදහසට කරුණු කීම තුළ ජාතික ඔලිම්පික් කමිටුවේ කෙරුවාව පිළිබඳව තේරුම් ගැනීමට අවශ්‍ය නම් ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ජාතික ක්‍රීඩා සභාවට දැන් ඒ සඳහා අවස්ථාව උදා වී ඇත. තවද මෙවර ඔලිම්පික් උළෙලේ නොමැති ක්‍රීඩාවක් නියෝජනය කරනා මෙරට ක්‍රීඩා සංගමයක නිලධාරියෙකු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස පත්කළේ කෙසේදැයි මෙකී ක්‍රීඩා බලධාරීන් සොයා බැලිය යුතුය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් විමසූ විට, 2008 බීජිං ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ එමෙන්ම එන්.ඕ.සී. හිටපු උප සභාපතිවරයෙකුද වන ඩයන් ගොමස් මහතා කියා සිටියේ තම රටේ ධජය ලාංඡනයක් සේ පැළැඳීමට අයි.ඕ.සී. යෙන් අවසර ලබා ගත යතු නැති බවත් මෙම සිදුවීම දුටු මොහොතේ තමන්ට විශාල කණගාටුවක් සහ දුකක් ඇති වුණ බවත්ය.
ශ්‍රී ලංකාවේ ජෝර්ජියා කොන්සල් ජනරාල්වරයා ලෙස ගරු සේවයක යෙදෙන ඩයන් ගෝමස් මහතා වර්තමානයේදී ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේද සභාපතිවරයා ලෙස කටයුතුකරන අතර ජාත්‍යන්තර මට්ටමෙන් ඔහුගේ අත්දැකීම්ද ගෙනහැර දක්වමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ගොමස් මහතා,

“ ඕනෑම ක්‍රීඩකයෙකුට රටේ ධජය සහිත ලාංඡන පළඳින්න පුළුවන්. ඒකට කිසිම කෙනෙක් ගෙන් අවසර ගන්න ඕන නැහැ. මෙවන් ක්‍රීඩා උළෙලකදී ක්‍රීඩකයාට තමන්ගේ අනුග්‍රාහකයාගේ ලාංඡනයක් වුණත් පළඳින්න අවශ්‍ය නම් එම අනුග්‍රාහකයා ඔලිම්පික් උළෙලේත් අනුග්‍රාහකයෙක් නම් ඔහුට ඒ ලංඡනය පැළැඳිය හැකියි. එහෙම නැතුව යම් පිටස්තර සමාගමක් ඔලිම්පික් සම අනුග්‍රාහකයෙක් නොවේ නම් එවැනි පිටස්තර සමාගමක ලාංඡන පළඳින්න බැහැ. ඕනෑම කෙනෙකුට තමන්ගේ රටේ කොඩිය ප්‍රදර්ශණය කරන්න අවසරය තිබෙනවා.
2006 ආසියානු ක්‍රීඩා උළෙලේත් 2008 බිජිං ඔලිම්පික් උළෙලෙත් මම ශ්‍රි ලංකා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කළා. ඒ වගේම බොක්සිං කලමණාකරුවෙක් ලෙසත් ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයෙක් හැටියටත් මට තිබෙන අත්දැකීම් අනුව මෙහෙම රටේ ධජය ප්‍රශ්නයක් කරගත්ත අවස්ථා මම දැකල නැහැ. මෙවන් ක්‍රීඩා උළෙලකදී රට නියෝජනය කරනවා කියල පෙන්වන එක ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට ලොකු ආඩම්බරයක්. මෙතරම් අමාරුවෙන් රට නියෝජනය කරන පිරිස් ගැන අපේ ජාතික ඔලිම්පික් කමිටුව බලන්නෙ නැද්ද කියල තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. අනෙක කණ්ඩායම් ප්‍රධානියත් මේ වගේ අඩුපාඩු නොවෙන්න වග බලාගන්න ඕන. මම දන්න විදියට ලංකාවෙ විශාලතම ඇඟැලුම් කර්මාන්ත ශාලා 3ක් මෙවරත් ඇඳුම් සඳහා අනුග්‍රහය දුන්නා.
ඔලිම්පික් බලධාරීන් කියල තිබුණා මෙවරත් අපේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉස්මතු නොවුනේ ඔවුන්ට ජාත්‍යන්තර තරගාවලියන්ට සහභාගී වෙන්න තිබුණ අවස්ථා අඩු වූ නිසා කියල. ඕවා ඉතිං නටන්න බැරි මිනිහට පෙළොව ඇදයි වගේ කතා. ඒ ගොල්ලො වැඩ කරන්නෙත් ඡන්ද බලාගෙන නේ. ඡන්දෙ දෙන අයට වැඩියෙන් සැළැකිලි. අපි වගේ විරුද්ධවාදියෝ කියල හිතෙන සංගම් වලට කුඩම්මාගෙ සැළැකිල්ල. රටේ ක්‍රීඩා ඇමැති තුමා හරි ලේකම් තුමා හරි මේවා කතාකරන්න ගියාම, මෙන්න රජය මැදිහත් වෙනවා කියලා කෙළින්ම අයි.ඕ.සී. යට ලියල බොරු ප්‍රශ්නයක් ඇදගන්නවා.
එන්.ඕ.සී.ය ස්වාධීනයි කියල එයාල කිව්වට එහි විගණන කටයුතු සියල්ල බලන්න රජයට හැකියාව තිබෙනවා. සංගම් වලට තහනම් පනවන්න පුළුවන් නම් එන්.ඕ.සී. එකටත් බලපෑම් කරන්න රජයේ ක්‍රීඩා අමාත්‍යංශයට පුළුවන්. අනෙක රජයෙන් එන්.ඕ.සී. යට දීල තිබෙන මුදල් වලට එන්.ඕ.සී. සාමාජිකත්වය වගකියන්න ඕන.
බොක්සිං, මලල ක්‍රීඩා, පාපන්දු වැනි මෙරට ක්‍රියාකාරී ක්‍රීඩා පරිපාලන සංගම් 15ක් 20ක් මේ සිදුවන අක්‍රමිකතාවන්ට එරෙහිව සටන් කරනවා. නමුත් අක්‍රිය කුඩා සංගම් වලට පොරොන්දු දීල ඔවුන් ප්‍රයෝජනයට ගෙන ඡන්ද අරගෙන වැඩ කරගෙන යනවා. ඒ කෙරුවාවෙ ප්‍රතිඵල තමයි මේ දකින්නෙ. හැමදාමත් එන්.ඕ.සී.එක කළේ මේ වගේ ක්‍රීඩා උළෙල වලට තම හිතවතුන් බුරුතු පිටින් සංචාරයෙ අරගෙන යෑමයි. මෙවර ඒක අඩුවුණේ වත්මන් ක්‍රීඩා ඇමති තුමාගෙ මැදිහත් වීම නිසයි.
මෙවර ඔලිම්පික් උළෙල වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශයෙන් විශාල මූල්‍යමය අනුග්‍රහයක් ලබා දුන්නා. එසේ රජයෙන් අනුග්‍රහය දැක්වූවා නම් මෙහෙම රටට අගෞරවයක් වෙන වැඩ කළේ ඇයි කියල රජය ප්‍රශ්න කළ යුතුයි.“ යනුවෙන් පැවැසීය.

මෙම ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය විසින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කරන ලද අතර එහි උපුටාගැනීමක් පහත දැක්වේ.

“ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 ඔලිම්පික් උළෙලට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අදාළ පහසුකම් ලබාදීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඉදිරිපත් කළ ඇස්තමේන්තුවට අදාළ මූල්‍ය ප්‍රතිපාදනයන් එම කමිටුව වෙත ලබා දී තිබෙන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පෙන්වා දෙයි.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ඇඳුම් (Competition kit) ලබා දී නොමැති බවට විවිධ මාධ්‍ය ඔස්සේ පළවන පුවත් සම්බන්ධයෙන් අදහස් පළකරමින් අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා මේ බව අවධාරණය කළේය.
ඔලිම්පික් ක්‍රීඩා උළෙල, පොදු රාඣ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල වැනි ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල සඳහා අන්තර්ජාතික ඔලිම්පික් කමිටු නිර්දේශ මත තරගාවලි සම්බන්ධ සියලු කටයුතුවල සංවිධානය සිදු වන බවත්, ඒ අනුව ශ්‍රී ලංකාවේ ඊට අදාළ වගකීම දරණුයේ ජාතික ඔලිම්පික් කමිටුව බවත් හෙතම සඳහන් කරයි.

ඒ අනුව, මෙවර ඔලිම්පික් උළෙල සඳහා සහභාගිවීමට අදාළව ජාතික ඔලිම්පික් කමිටුව විසින් ඉදිරිපත් කර ඇති ඇස්තමේන්තුවට අනුව අනෙකුත් අදාළ පහසුකම් ලබාදීම සඳහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන ගරු තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ජාතික ඔලිම්පික් කමිටුවට ලබා දී තිබේ.

2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවති පූර්ව සූදානම් රැස්වීමේ දී ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ක්‍රීඩා තරග ඇඳුම් සඳහා අනුග්‍රහකත්වය සම්බන්ධව කරුණු ඉදිරිපත් විය. එම සාකච්ඡාවට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන මහතා ද එක්ව සිටියේ ය.
අදාළ සාකච්ඡාවේ දී ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා තරගවලට අවශ්‍ය ඇඳුම් සඳහා පෞද්ගලික ආයතනයක අනුග්‍රහකත්වය ලබා දී ඇති බව ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් විසින් කරුණු දැක්වූ බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි.“
උපුටාගැනීම අවසන්.