කුසල්ට සහ ධනුෂ්කට වසර 02ක ක්‍රිකට් තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් දික්වැල්ලට මාස 18ක තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක්

නිමාවූ එංගලන්ත සංචාරයේදී ජෛව බුබුලෙන් පිටතට විත් විනය විරෝධීව හැසිරීමට චෝදනා ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උපනායක කුසල් මෙන්ඩිස්ට සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර 02ක ක්‍රිකට් තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක්ද කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට මාස 18ක තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක්ද පනවා තිබේ. දික්වැල්ලගේ පළමු වැරැද්ද හේතුවෙන් ඔහුට තහනම යම්තාක් දුරකට අඩු කර තිබේ.
මෙම ක්‍රීඩකයන්ට එරෙහි විනය පරීක්ෂණය අද (29දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්විණ. ඒ පංච පුද්ගල කමිටුවක් හමුවේය.
මෙම පරීක්ෂණය කමිටුවට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද, නීතිඥ අසේල රැකව, නීතිඥ උචිත වික්‍රමසිංහ සහ විශ්‍රාමික මේජර් ජෙනරල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා යන මහත්වරු ඇතුලත්ව සිටියහ.