එල්පීඑල් සංවිධානය කළ IPG සමාගමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ඇමෙරිකානු ඩොලර් 80,000ක පොල්ලක්

ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 1.75ක මුදලෙන් ඉතුරු මුදල් ගෙවන්න වසර 04ක් ඉල්ලලා එල්පීඑල් අධ්‍යක්ෂ IPG සමාගමේ ඉල්ලීම් ඇතුළත් ලිපිය අවසාන මොහොතේ ක්‍රිකට් විධායක කමිටුවට දාලා

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය (එල්පීඑල්) සංවිධානය කළ IPG සමාගම එම තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 1.75ක මුදලෙන් ඉතුරු මුදල් ගෙවීමට වසර 04ක් ඉල්ලා ඇති බව අනාවරණය වේ. මේ බව අනාවරණය වූයේ පසුගියදා පැවැත්වූ ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේදීය.
එල්පීඑල් අධ්‍යක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති රවීන් වික්‍රමරත්න මහතා IPG සමාගමේ ඉල්ලීම් ඇතුළත් ලිපිය අවසාන මොහොතේ ක්‍රිකට් විධායක කමිටුවට ඉදිරිපත් කර ඇති අතර එහි සඳහන්ව තිබුණේ IPG සමාගම එල්පීඑල් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 1.75ක මුදලෙන් ඇමෙරිකානු ඩොලර් 80,000ක් ගෙවා ඇති බවත් අනෙක් මුදල් ගෙවීමට IPG සමාගමට වසර 04ක කාලයක් ලබාදෙන ලෙසයි.
කෙසේ වෙතත් විධායක කමිටු සාමාජිකයින් ඊට දැඩි විරෝධයක් පළ කර ඇති අතර එදින පැවති ක්‍රිකට් විධායක කමිටු රැස්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහභාගී වී නොමැති අතර ඒ හේතුවෙන් එම ලිපියට අනුමැතිය ලබාදීම වහාම තාවකාලිකව අත්හිටුවා තිබුණි. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහභාගී වන විධායක කමිටු රැස්වීමකදී යළිත් එය අනුමැතිය ලබාගැනීමට ඉදිරිපත් කිරීමට නියමිත බව එම විධායක කමිටු රැස්වීමට සහභාගී වූ විධායක කමිටු සාමාජිකයෙකු පැවසීය.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමස්ත තරග සංවිධාන කටයුතු ලංසු තැබීමකින් (Bidding Process) හිමි කරගෙන තිබුණේ වසර 05ක කාල සීමාවකට යටත්ව අයිපීජී සමාගම (THE IPG GROUP)යි.
ඒ සඳහා ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පළමු අවුරුද්ද තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 1.75ක මුදලක් ගෙවීමට නියමිතව තිබුණි. මෙය අවුරුද්දෙන් අවුරුද්දට ලැබෙන මුදල් ප්‍රමාණය වැඩිවන ආකාරයට ගිවිසුම සකස් කර තිබුණි. කෙසේ වෙතත් සියල්ලන්ම රවටමින් අයිපීජී සමාගම පළමු අවුරුද්දේ හිඟ මුදල් ගෙවීමට වසර 04ක් ඉල්ලීම පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බවද එම විධායක කමිටු සාමාජිකයා පැවසීය. ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේ අයිපීජී සමාගමෙන් විශාල මුදලක් කොමිස් ලෙස නිලධාරීන් ලබාගෙන ඇති බවත් එහෙයින් එම නිලධාරීන් කෙසේ හෝ මීට අනුමැතිය ලබාගැනීමට උත්සහ කරන බවයි.
මෙම තරගාවලිය සංවිධානය කිරීම සඳහා අයිපීජී සමාගමට අමතරව අයිටීඩබ්ලිව් සමාගම සහ පාකිස්තානු සුපර් ලීග් තරගාවලිය පසුගිය වසරේ සංවිධානය කළ සමාගමද ලංසු ඉදිරිපත් කර තිබුණි.
කෙසේ වෙතත් එහි ලංසුව දිනාගත් අයිපීජී සමාගම නියමිත දිනට එම මුදල් (ඇමෙරිකානු ඩොලර් මිලියන 1.75ක මුදල) ගෙවීමට අපොහොසත්ව තිබුණි. මේ සඳහා ඔවුන් පසුව පවසා තිබුණේ පැය 24ක් ඇතුළත බැංකු ඇපකරයක් (Bank Guarantee) තබන බවයි.
එහෙත් එයද නිසි පරිදි නිසි වෙලාවට කිරීමට ඔවුන් අපොහොසත්ව තිබුණි. වාර්තා වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු මුදලින් තවමත් ලැබී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 80,000ක මුදලකි.
මෙහි සමස්ත මුදල මෙතෙක් ලබාදීමට අයිපීජී සමාගම අපොහොසත්ව සිටියි. මීට පෙරද එම සමාගම විනිවිද භාවයෙන් තොර යෝජනා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සිදු කර තිබුණි. එනම් ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් තරග විකාශන අයිතීන් ලැබෙන මුදලෙන් එම මුදල් පියවන බවටයි.
මෙය කිසිදු ආකාරයකින් ලංසු තැබීම සඳහා වන ක්‍රියාවලිය තුළ ඇතුළත් නොවුණු කොන්දේසියකි. මේ ආකාරයෙන් කොන්දේසි දමමින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලැබීමට නියමිත මුදල් වංචා කිරීමට ඉඩ දිය හැකිද යන්න ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා සද්භාවයෙන් යුතුව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ කිරීමට අමාත්‍යවරයෙකු ලෙස කළ හැකි සියලු පහසුකම් ලබාදෙමින් මෙම කාර්යය සාර්ථක කර ගැනීමට පියවර ගෙන තිබුණද වත්මන් ක්‍රිකට් බලධාරීන් අමාත්‍යවරයාවත් නොමග යවමින් මේ ආකාරයේ ‘යටින් ගේම්’ ගසමින් සිටියි.
එමෙන්ම අයිපීජී සමාගම ගිවිසුමේ වගන්ති කඩ කරමින් ඔවුනට හිතුමතේ කටයුතු කරමින් සිටියි.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිදුවුණු බරපතලම අසාධාරණය නම් අයිපීජී සමාගම සමග මෙම තරගාවලිය සංවිධානය කිරීමට ලංසු තැබූ අනෙකුත් සමාගම්වලට සිදුව තිබේ. එනම් තරගාවලිය නිසිපරිදි කලට වේලාවට මුදල් ගෙවා ලබාගැනීමේ හැකියාව තිබියදීත් එම සමාගම්වලට එය අහිමිව යෑමයි.
සෝනි වැනි ලෝක ප්‍රකට සමාගම්ද විකාශන අයිතිය ලබාගැනීමේ ටෙන්ඩරයෙන් ඉවත්වූයේ තරගාවලියේ සංවිධාන කටයුතු නිසි විනවිදභාවයකින් යුතුව සිදු නොකරන බව චෝදනා කරමිනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වරට ‘ෆ්රන්චයිස් ක්‍රිකට්’ තරගාවලියක (ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය) රුපවාහිනි, ගුවන්විදුලි සහ අන්තර්ජාල යනාදී විකාශන අයිතිය ලබාදීමේදී එය කොටස් 03කට වෙන් කර ලබාදීමද සිදුවිය. මේ හේතුව නිසා සහ මෙම ක්‍රියාවලිය විනිවිදභාවයකින් තොර බව ප්‍රකාශ කරමින් සෝනි සමාගම තරග විකාශන අයිතිය ලබාගැනීමෙන්ද ඉවත්විය. පසුව ඔවුන් තරග විකාශය කරනු ලැබුවේ නොමිලේ විකාශන අයිතිය ලබාදුන් නිසා බවද වාර්තා වේ.
එල්පීඑල් තරගාවලියේ අත යට ගනුදෙනු රැසක් මේ වනවිට හෙළිව ඇති අතර, තරගාවලිය සංවිධානය කළ අයිපීජී සමාගම ගිවිසුම් කොන්දේසි කඩ කරමින් ගෙවීම් පැහැර හැර ඇතැයිද ක්‍රිකට් ආයතනයේ සේවකයෝ චෝදනා කරති. මෙමගින් තරගාවලිය සංවිධාන කිරීමට ලංසු තැබූ අනෙකුත් සමාගම්වලට අසාධාරණයක් සිදුවී ඇතැයිද මෙම තත්ත්වය වසා ගැනීමට විවිධ උපක්‍රම භාවිත කරන බවද වාර්තා වේ.
මීට අමතරව මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරගාවලි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති රවීන් වික්‍රමරත්න මහතාය. ඔහු මෙරට පැවති දේශීය තරගාවලියක (පානදුර ක්‍රීඩා සමාජය සහ කළුතර කායවර්ධන කවය) තරග පාවාදීමට කටයුතු කළේ යයි චෝදනා එල්ලවූ පුද්ගලයෙකි. මීට හොඳම නිදසුන වනුයේ මෙම තරග පාවාදීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සිදු කළ පරීක්ෂණ වාර්තාවෙන් (ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ) ඔහුට ඇතුළුව අනෙකුත් නිලධාරීන්ටද චෝදනා එල්ල කර තිබීමයි. අනෙක් සාක්ෂිය වනුයේ චාමර සිල්වා ඇතුළු ක්‍රීඩකයින් ලබාදුන් දිවුරුම් ප්‍රකාශයි. ක්‍රීඩකයින් එම දිවුරුම් ප්‍රකාශවලින් පෙන්වාදී ඇත්තේ වත්මන් ක්‍රිකට් උපසභාපති රවීන් වික්‍රමරත්න මහතා තරග පාවාදීමට ක්‍රීඩකයින්ට ඍජුව සහ වක්‍රව බලපෑම් කර ඇති බවයි.
ක්‍රීඩා අමාත්‍යවරයගේද ඇස් වසා ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් පරිපාලනය ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂ ධුරය තරග පාවාදෙන්නෙකුට ලබාදීමෙන් තරගාවලිය ආරම්භයේදීම තරග පාවාදීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සිදු විය.
අනෙක් කරුණ නම් මීට පෙර මෙම තරගාවලියේ අධ්‍යක්ෂවරයා ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක රසල් ආනොල්ඩ්ට ඇමෙරිකානු ඩොලර් 15,000ක වේතනයක් ලබාදී ඔහුව ඔස්ට්‍රේලියාවේ පවා යවා තරගාවලිය සංවිධාන කිරීමට ව්‍යුහය සකස් කිරීමට පිඹුරුපත් සකසා තිබුණි.
එසේ නම් ඔහුට ඇමෙරිකානු ඩොලර් 15,000 බැගින් වේතන ගෙවීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සිදුවූ සෙත කුමක්දැයි විමසීමට කැමැත්තෙමු.
මෙම තරගාවලිය තුළ අත යට ගනුදෙනු රාශියක් සිදුව ඇති බවට පැමිණිලි ලැබී ඇති අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට සහ ක්‍රීඩා අමාත්‍යවරයාටද මේ සම්බන්ධයෙන් ලිඛිතව පැමිණිලි කර තිබේ.
ක්‍රීඩා අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුතු පරීක්ෂණයක් සිදු කරනු ඇතැයි අප සැමගේ බලාපොරොත්තුවයි. අමාත්‍යතුමනි, මෙම විමර්ශනය සඳහා හැකි ඉක්මනින් ඔබේ අවධානය යොමු කරන්න.
එමෙන්ම ක්‍රිකට් රැක ගැනීමට නම් වහා අතුරු කමිටුවක් පත් කර ක්‍රිකට්වලින් බිස්නස් කරන අයට නොව ක්‍රිකට් ගසා ඇති දක්ෂ ක්‍රීඩකයන්ට එහි පරිපාලනය භාර දෙන ලෙස ඉල්ලමි.
එසේම එල්පීඑල් තරගාවලිය සම්බන්ධයෙන් වහාම විගණනයක් කරන මෙන් ඉල්ලා සිටිමි.

එල්පීඑල් තරගාවලියේ දුෂණ, වංචා මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.