කොරෝනා නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් නැවත දැනුම්දෙන තුරු වසා දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිටි කොවිඩ්-19 ආසාධිත නිලධාරීන් දෙදෙනෙකු නිසා නැවත දැනුම්දෙන තුරු එය වසා දැමීමට පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් මානව සම්පත් කළමනාකරු ටනේෂ් ඩයස්ගේ අත්සනින් යුතුව අද (03දා) සියලුම සේවකයන්ට සහ නිලධාරීන්ට ලිඛිතව දැනුම් දීමක් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි සංවිධාන කළමනාකරු ට්‍රැවිස් ප්‍රනාන්දුට සහ අමාත්‍යාංශයෙන් පැමිණි වෛද්‍යවරයෙකුට කොවිඩ්-19 ආසාධනය වී ඇති බවත් එහෙයින් මෙලෙස නැවත දැනුම්දෙන තුරු ක්‍රිකට් ආයතනය වසා දැමීමට පියවර ගෙන ඇති බවත් කිසිදු පිටස්තර පුද්ගලයෙකු ක්‍රිකට් ආයතනයට ඇතුළත් කර නොගන්නා ලෙසත් දැනුම්දී තිබේ.
මේ අතර තරගාවලි සංවිධාන කළමනාකරු ට්‍රැවිස් ප්‍රනාන්දු සමග සබඳතා පැවැත්වූ අයට පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව අනාවරණය වේ.
මෙහිදී විශේෂයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි සංවිධාන කළමනාකරු සමග පසුගිය සති කිහිපයේ සම්බන්ධතා පැවැත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට සහ සේවකයන්ට පීසීආර් පරීක්ෂණ සිදු කරන ලෙස උපදෙස් දී ඇති අතර ඒ අනුව අද (03දා) මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධීකරණ කටයුතු කරන නිලධාරී (liaison officer) චිත්‍රාල් මෙන්ඩිස්ට ඇතුළු ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු කිහිපදෙනෙකුට පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.
මේ අතර අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් මානව සම්පත් කළමනාකරු ටනේෂ් ඩයස්ද හදිසියේම නවලෝක රෝහලට ඇතුළත්ව ඇති බව වාර්තා වේ.
මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි සංවිධාන කමිටුවේ ප්‍රධානී මෙන්ම අනෙකුත් සාමාජිකයින් සහ තවත් පිරිසක්ද පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට යොමු කර ඇති බව අනාවරණය වේ.
තරගාවලි සංවිධාන කළමනාකරු ට්‍රැවිස් ප්‍රනාන්දු සමග පසුගිය සති කිහිපයේදී උපසභාපති ජයන්ත ධර්මදාස, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, පරිපාලන අංශ ප්‍රධානී අරුණ ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි සංවිධාන කමිටුවේ සම්බන්ධීකරණ නිලධාරී ෂිබ්ලි විල්කාසිම් යන අය සබඳතා පවත්වා ඇතැයි වාර්තා වේ.