ග්‍රේස් නායක දසුන් ගෙන් ග්‍රේට් වැඩක්

තරගාවලියේ වීරයා ලෙස ලැබුණ ත්‍යාග මුදල කොවිඩ් රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගත් ග්‍රේස් කණඩායමේ නායක දසුන් ශානක තරගාවලියේ වීරයා ලෙසද සම්මානය දිනා ගත් අතර ඒ සඳහා තමන් ලද ත්‍යාග මුදල කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් කළුබෝවිල රෝහලට පරිත්‍යාග කරන බව ඔහු තරගය අවසානයේ පැවැසීය.

ග්‍රේස් කණ්ඩායම සහ රෙඩ්ස් කණ්ඩායම අතර පසුගියදා (24දා) රාත්‍රියේ පැවැති අවසන් මහා තරගයෙන් ජයගැනීමෙන් පසුව ග්‍රේස් කණ්ඩායමේ නායක දසුන් ශානක ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින්,

“කොවිඩ් රෝගී තත්වය හේතුවෙන් අද රටේ තත්වෙ ගොඩක් දරුණ අතට හැරිල කියල හැමෝටම පේනවා. ඒ නිසා තරගාවලියේ වීරයා විදියට මට ලැබුණ සම්පූර්ණ මුදලම කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත රෝගීන් වෙනුවෙන් මා පරිත්‍යාග කරනවා. ඒ වගේම අපේ ග්‍රේස් කණ්ඩායමට ලැබුණු ත්‍යාග මුදලිනුත් කොටසක් පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්වත් මේ සම්බන්ධයෙන් දැනුවත් කරල තියෙන්නෙ ”
යනුවෙන් පැවැසීය.

මෙම තරගාවලි‍යේ ශූරයින් වූ ග්‍රේස් කණ්ඩායමට රුපියල් ලක්ෂ 20ක මුදලක්ද අනුශූරයින් වූ රෙඩ්ස් කණ්ඩායමට රුපියල් ලක්ෂ 15ක මුදලක්ද පිරිනැමුණ අතර තරගාවලියේ වීරයා ලෙස ග්‍රේස් කණ්ඩායමේ නායක දසුන් ශානකට හිමිවූ ත්‍යාග මුදල රුපියල් ලක්ෂ 2කි.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරඟයේදී දිනේෂ් චන්දිමාල් නායකත්වය දැරූ රෙඩ්ස් කණ්ඩායම ලකුණු 42 කින් පරාජය කිරීමට ග්‍රේස් කණ්ඩායම සමත්වූයේ තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසයි.

මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ග්‍රේස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 04 ක් දැවී ලකුණු 201 ක් රැස් කළ අතර පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ රෙඩ්ස් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 04 කදී සියලු දෙනා දැවී රැස්කීරීමට හැකි වුණේ ලකුණු 159 ක් පමණි.

අවසන් තරගයේදී පන්දු 17 කදී ලකුණු 48 ක් රැස්කළ දසුන් ශානක සමස්ථ තරගාවලියේ තරග 6කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 258 (සාමාන්‍ය 64.5)කි.