මංගල උත්සව සඳහා ලබාදී ඇති  අවසරය අවභාවිත කළොත් කොවිඩ්-19 තවත් රැල්ලක් ළඟදීම – යුද හමුදාපතිවරයාගෙන් අනතුරු ඇඟවීමක් 

මංගල උත්සව සඳහා ලබාදී ඇති  අවසරය අවභාවිත කරන තත්ත්වයක්  පෙනෙන්නට තිබෙන බවත් මෙලෙස වගකීම් විරහිතව කටයුතු කළහොත් කොවිඩ්-19 තවත් රැල්ලක් ළඟදීම ඇතිවීමේ  අවදානමක් මතුවිය හැකි බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික  ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද  හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අනතුරු අඟවයි.

මගුල් උත්සව සඳහා  සහභාගිවීමට ලබාදී ඇති 150 උපරිම සීමාව ඉක්මවා යමින් කොළඹින් පිට පළාත්වල මංගල උත්සව පවත්වන බවට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

තුන් වැනි කොවිඩ්  රැල්ල ආරම්භ වූයේ අවුරුදු සමයේදී ජනතාව වගකීම් විරහිතව කටයුතු කළ නිසා බවත් එම තත්ත්වය සිහියේ තබාගෙන වගකීම් සහිතව කටයුතු කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් යුද හමුදාපතිවරයා පැවසුවේය .

රජය සංචරණ සීමා ලිහිල් කර ඇත්තේ ජනතාවට උපරිම වශයෙන් සහන ලබාදීම සඳහා බවත් දෛනිකව ආසාදිතයන් එක් දහස් පන් සියය ඉක්මවා වාර්තා වන පසුබිමක ජනතාව වැඩි අවධානයකින් කටයුතු කිරීම වැදගත් බවත් හෙතෙම අවධාරණය කළේය .