‘මහරාජලා මේ රටේ නෑ’ අසත්‍ය වැපුරුවොත් කරන දේ ජනපති කියයි

මෙරට තුළ මහරාජලා නැති බවත් ඔවුන් හිටියේ ඉන්දියාවේ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගම සමග පිළිසඳරක් වැඩ සටහනේදී පවසා සිටියේය. ඒ ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතනය විසින් ගෙන යන අසත්‍ය ප‍්‍රවෘත්ති සම්බන්ධව අදහස් දක්වමිනි.
‘‘මාධ්‍ය නිදහස කියන්නෙ මාධ්‍ය ආයතන හිමිකරුවන්ට ඕන විදිහට අසත්‍ය ප‍්‍රචාර ගෙනියන එක නෙමෙයි. හැබැයි මේ විදිහට මඩ ගහන්න ආවොත් කරන්න ඕන දේත් මම දන්නවා. ඇතැම් මාධ්‍ය ආයතන හිමිකරුවන්ට රට පාලනය කිරීමට අවශ්‍යව ඇතත් එසේ කළ නොහැකියි.’’ යැයි ජනාධිපතිවරයා පවසයි.
නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ වලපනේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යෝඹුවැල්තැන්න ප‍්‍රදේශයේ පැවැති ගම සමග පිළිසඳර වැඩසටහනේදී ජනපතිවරයා මෙම අදහස් පළ කර සිටියේය.
‘‘මේ රටේ බහුතර ජනතාව එක්ව මා ජනාධිපති ධුරයට පත් කළේ රට ගොඩනැගීමටයි. මාස 60 ක් වු ධුර කාලයෙන් තවම ගතවී තියෙන්නෙ මාස 16 ක් පමණයි. තව සැලකිය යුතු කාලයක් ඉදිරියට තියෙනවා. ඊළඟ ජනාධිපතිවරයා පිළිබඳව ඇතැම්හු කළබල වෙලා ඉන්නවා. කිසිවකු ඒ ගැන කලබල නොවිය යුතුයි. එය කරන්නේ ජනතාවයි. නිලධාරීන්ගේ වගකීම ජනතාව ජීවත් කරවීමයි. කිසිවිටෙක ඔවුන්ට කරදර නොකළ යුතුයි. ’’