ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහලම පුටු 05ක නිලධරයන්ට නිලවරණය තහනම් වන ලකුණු

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහලම පුටු 05ක නිලධරයන්ට නිලවරණය තහනම් වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනයේ ධුර කාලය පසුගිය පෙබරවාරි මස 20 වැනිදායින් අවසන්ව ඇති බව නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත දන්වා තිබීම හේතුවෙනි.
මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ වත්මන් ක්‍රිකට් පරිපාලනය විධායක කමිටුවේ අනුමැතිය සහිත විගණන වාර්තා නිසිපරිදි විගනකාධිපතිවරයා වෙත යොමු කර නොතිබීම හේතුවෙනි.
4. 2016.10.27 වැනි දින නිකුත් කරන ලද 1990/23 දරන අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2016 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග සංශෝධනය කර 2019 ජූනි මස 18 වැනි දින නිකුත් කරන ලද අංක 2128/8 දරන ගැසට් නිවේදනයේ
සංශෝධන අංක (02) 5.(4) (න) වගන්තිය ඉවත්කොට පහත වගන්තිය ආදේශ කිරීමෙන්,
5. (4) (න) III. විධායක කමිටුව විසින් සහතික කරන ලද මූල්‍ය ප්‍රකාශ එක් එක් මූල්‍ය වර්ෂය අවසන් වී මාස 02 ක් ඇතුළත විගණාධිපතිවරයා වෙත ඉදිරිපත් නොකරන ලද ජාතික ක්‍රීඩා සංගම් සභාපති, ලේකම්, භාණ්ඩාගාරික හෝ චෙක්පත් අත්සන් කරනු ලබන වෙනත් නිලධාරියෙකු වේ නම් පරීක්ෂණයක් පවත්වා වරදකරු තීරණය කරනතුරු ඔවුනට නිලවරණය පවත්වනු ලබන ඉදිරි වර්ෂයේ නිලතල සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව අහිමිවේ’ යන්න මේ සම්බන්ධයෙන් 2020 මාර්තු මස 10 වැනිදා යොමු කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ.
ඒ අනුව වත්මන් ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා, භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ යන මහත්වරුන්ටද චෙක්පත් අත්සන් කරනු ලබන උපසභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරුන්ට ඉදිරි නිලවරණයට නාමයෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අහිමිව තිබේ.
මීට හේතුව වී ඇත්තේ ඔවුන් ඔවුන්ගේ විගණන වාර්තා සඳහා විධායක කමිටු අනුමැතිය ලබාගෙන ඇත්තේ මෙම වසරේ පෙබරවාරි මස 24 වැනිදා පැවති විශේෂ විධායක කමිටු රැස්වීමකදීය. එහෙත් ඔවුන්ගේ ධුර කාලය මෙම වසරේ පෙබරවාරි මස 20 වැනිදා අවසන්ව ඇති බව නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට දන්වා තිබේ. එනිසා එම විගණන වාර්තාවල නීතිමය වලංගුතාවක් නොමැති බව නීති විශාරදයෝ පෙන්වාදෙති.