ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් පරිපාලනයේ කාලය අවසන් බව නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට දන්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනයේ ධුර කාලය පසුගිය පෙබරවාරි මස 20 වැනිදායින් අවසන්ව ඇති බව නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත දන්වා ඇති බව වාර්තා වේ. නීතිපතිවරයා මේ බව දන්වා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජික ක්‍රීඩා සමාජයක් වන කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියට ප්‍රතිචාර දක්වමිනි.
කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ සභාපති නිශාන්ත රණතුංග සහ ලේකම් මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර මහත්වරුන් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනයේ ධුර කාලය පසුගිය පෙබරවාරි මස 20 වැනිදායින් අවසන්ව ඇති බවත් එහි පරිපාලනයට අතුරු කමිටුවක් පත් කරන ලෙසත්ය.
කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයා නීතිපතිවරයාගේ මතය විමසීම සඳහා මෙම ලිපිය නීතිපතිවරයා වෙත යොමු කර තිබුණි.
නීතිපතිවරයා තම මතය ක්‍රීඩා අමාත්‍යවරයාට දන්වමින් පවසා ඇත්තේ නිලවරණය පවත්වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව පරිපාලන කමිටුවක් පත් කරන ලෙසයි.
ෂම්මි සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ නීත්‍යානුකූලභාවය පිළිබඳව කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අභියෝගයට ලක් කළ විට ක්‍රීඩා අමාත්‍යංශය නීතිපතිවරයාගෙන් නීති උපදෙස් ලබාගෙන සති තුනකට පසුව මෙම උපදෙස් ලබා දීම සුවිශේෂිය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිලධාරීන් පත්කර ගැනීමට වූ අවසන් නිලවරණය පැවැත්වූයේ 2019 වසරේ පෙබරවාරි මස 21 වැනිදා වන අතර එහි නිලධාරී මණ්ඩලයේ ධුර කාලය අවුරුදු 02ක් නොඉක්මවිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව උපුටා දක්වමින් කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සඳහන් කර තිබුණි.
එමෙන්ම ඒ හේතුව නිසා එහි වත්මන් නිලධරයන් නීත්‍යානුකූල නොවන බවද ඔවුන්ගේ දෙවසරක කාලය අවසන් වී ඇති බැවින් තවදුරටත් ධුරය දැරීමට හෝ කාර්යාලයේ බලතල ක්‍රියාත්මක කිරීමට අයිතිය නොමැති බවද ක්‍රීඩා අමාත්‍යවරයා වෙත කෝල්ට්ස් ක්‍රිකට් සමාජය යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.
මේ කරුණ සලකා බැලීමෙන් පසු, වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට පෙබරවාරි 20 වන දින සිය ධුර කාලය අවසන් වී ඇති බැවින් එය අඛණ්ඩව පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
මේ හා සමාන තත්වයක් 2018 වසරේදී එවකට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ කාල සීමාවේදීද දැකගත හැකිවූ අතර එහිදී අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය නිසි බලධරයෙකු (ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා) යටතට පත් කිරීමට පියවර ගත්තේය.