ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තවත් කොවිඩ් පොකුරක් මතුවන ලකුණු

තවත් 03කට කොවිඩ්-19 ධනාත්මකයි මේ වනවිට ක්‍රිකට් ආයතනයේ කොවිඩ් පොකුර 05ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තවත් කොවිඩ් පොකුරක් මතුවීමේ අවදානමක් ඇතිව තිබෙන අතර එහි තවත් සේවකයන් තිදෙනෙකුට කොවිඩ්-19 ආසාධනය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ වනවිට ක්‍රිකට් ආයතනයේ කොවිඩ් පොකුර 05ක් දක්වා ඉහළට ගොස් තිබේ.
මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලි සංවිධාන කළමනාකරු ට්‍රැවිස් ප්‍රනාන්දුට කොවිඩ්-19 ආසාධනය වී තිබූ අතර ඒ අනුව ඔහුව නිරෝධායනයට යොමු කර තිබුණි. ඔහුත් සමග එළඹෙන එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට රාජකාරි කිරීමට පැමිණි වෛද්‍යවරයෙකුටද කොවිඩ්-19 ආසාධනය වී ඇති බවද පසුව හඳුනාගෙන තිබුණි. ඒ අනුව ඔහුවද නිරෝධායනයට යොමු කර තිබුණි.
අනතුරුව ට්‍රැවිස් ප්‍රනාන්දු සමග සමීප සබඳතා පැවැත්වූ ක්‍රිකට් ආයතනයේ පිරිස් හඳුනාගෙන ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට නියෝග කර තිබු අතර ඒ අනුව අද (05දා) දහවල් වනවිටත් කිසිදු පුද්ගලයෙකු කොවිඩ්-19 ආසාධනය වී තිබූ බවට තොරතුරු වාර්තා නොවීය.
කෙසේ වෙතත් අද රාත්‍රියේදී වාර්තා වුයේ තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සේවකයන් තිදෙනෙකුට කොවිඩ්-19 ආසාධනය වී නිරෝධායනයට යොමු කර ඇති බවයි. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කොවිඩ් පොකුර 05ක් දක්වා වර්ධනය වී ඇතැයි අනාවරණය වේ.