දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාව 2-0කින් පරදී

ජොහැන්නස්බර්ග්හි වොන්ඩරස් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 35 ක් ඇතුළත ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ අවසන් පිතිකරුවන් 6 දෙනාම දවා ගැනීමට දකුණු අප්‍රිකානු පිලේ පන්දු යවන්නන් සමත්වීම මත තෙවැනි දිනය අවසන් වීමට මත්තෙන් ශ්‍රී ලංකාව පරදවා කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ අද (05 දා) සමත්වූහ.

පන්දු යැවීමෙන් කැපී පෙනුණු ලුංගි න්ගිඩි, ලුතෝ සිපම්ලා සහ ඇන්රිච් නෝර්චේ තෙවැනි දිනය ආරම්භයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු 67 ක් පමණක් ලබා දීමට වග බලා ගත්හ. එහිදී කැපී පෙනුණු න්ගිඩි කඩුලු 4 ක්, සිපම්ලා කඩුලු 3 ක් සහ නෝර්චේ කඩුලු 2 බැගින් බිඳ හෙළමින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 211 කට සීමා කළහ. ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 67 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු පිල 13 වැනි පන්දුවාරයේදී ජයග්‍රාහී ලකුණු සම්පූර්ණ කර ගන්නා අවස්ථාවේදී කඩුලු 10 ම ඔවුන් අත ඉතිරිව පැවැතිණ. පූර්ණ දින 2 ක් ඉතිරිව තිබියදීම මෙම තරගයේ ජය වාර්තා කර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වීමත් සමඟ තරගාවලියද 2-0 ක් ලෙස සත්කාරකයින් ජය ගනු ලැබීය.

තෙවැනි දිනයේ යවන ලද තෙවැනි පන්දුවාරයේදී පිට පිට එල්ල කරන ලද හතරේ පහර 2 ත් සමග දකුණු අප්‍රිකානු දේශයේදී පළමු වරට ශතකයක් වාර්තා කළේය. මුහුණ දුන් 123 වැනි පන්දුවේදී සිය ටෙස්ට් තරග දිවියේ 10 වැනි ශතකය සම්පූර්ණ කළ වමත් හැඩකාරයා 2017 වසරෙන් පසු පළමු වතාවට ශ්‍රී ලංකාවෙන් පිටතදී ශතකයක් වාර්තා කරගත්තේය.

දිමුත්ගේ ශතකය වාර්තාවීම හැරුණු විට තෙවැනි දිනය තුළ සිදුවූ සියල්ල ශ්‍රී ලංකා පිලේ අවාසනාවට හිටියේය. සියල්ල වෙනස් වූයේ ඇන්රිච් නෝර්චේ විසින් දිමුත්ගේ කඩුල්ල දවා ගැනීමට සමත්වීමත් සමඟය. ලකුණු 150 කට කඩුලු 4 ක් දැවී ගොස් තිබියදී දිනය ඇරැඹි කරුණාරත්න සහ නිරෝෂන් දික්වැල්ල තවත් ලකුණු 26 ක් ලකුණු පුවරුවට එක් කරන අතර වාරයේ පන්දු යැවූ ඇන්රිච් නෝර්චේ විසින් පිට ඉන්නේ පතිත කොට දිමුත්ගේ පපුව ප්‍රදේශයට දෝලනය වන සේ පන්දු කීපයක්ම යොමු කළේය. පළමු පන්දු 2 ට අසීරුවෙන් ආරක්ෂිත පිළිවෙතක් අනුගමනය කළ දිමුත් නෝර්චේ විසින් එවන ලද තෙවැනි පන්දුවට පාදය ඔසවා පුල් පහරක් එල්ල කිරීමට උත්සාහ ගත්තද එය වැරදී යෑම මත වටිනා කඩුල්ල ශ්‍රී ලංකාවට අහිමිවිය.

පෙරද දිනයේ සිට දිමුත්ට අනගි සහායක් ලබා දුන් නිරෝෂන් දික්වැල්ලද ඊළඟ පන්දුවාරයේදී දවා ගැනීමට න්ගිඩි සමත්වීම මත ශ්‍රී ලංකා ඉනිමේ එකා පිට එකා දැවී යෑම ආරම්භ විය. දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ ග්‍රහණයට ශ්‍රී ලංකා පිතිකරුවන් අසුවද්දී ධෛර්යවන්තව පන්දුවට පහර දුන් වනිඳු හසරංග පසු පෙළින් ලකුණු 16 ක් ශ්‍රී ලංකා පිලට දායාද කිරීමට සමත්වූවේය.

ලකුණු 67 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් යුගලය වූ ඒඩියන් මාක්‍රම් පන්දු 53 කදී ලකුණුඅ 36 ක්ද ඩීන් එල්ගාර් පන්දු 27 කදී ලකුණු 31 ක්ද ලබා දකුණු අප්‍රිකානු ජයග්‍රහණය 14 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී සනාථ කළහ.