ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි සංවිධාන කළමනාකරු ට්‍රැවිස් ප්‍රනාන්දුව ලොක්ඩවුන් කර තිබියදී රාජකාරියට වාර්තා කරලා

නිරෝධායන නීති කඩ කර ඇති බවට චෝදනාවක්

මේ වනවිට කොවිඩ්-19 ආසාධනය වී නිරෝධායනය වෙමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලි සංවිධාන කළමනාකරු ට්‍රැවිස් ප්‍රනාන්දු මහතා වාසය කරන හුණුපිටිය, වත්තල ඇවරිවත්ත පාර ලොක්ඩවුන් කර තිබියදී ඔහු සේවයට වාර්තා කර තිබීම සම්බන්ධයෙන් ගැටළු රැසක් මතුව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් සේවකයන් චෝදනා කර සිටියේ හෙතෙම නිරෝධායන නීති කඩ කර ඇති බවත් මීට කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බවත්ය.
කෙසේ වෙතත් ඔහුට රාජකාරියට වාර්තා කිරීමට අවසර දුන්නේ කවුදැයි මෙතෙක් අනාවරණය නොවේ. එහෙත් පිරිසක් පෙන්වා දුන්නේ ඔහුට අවසර දීම සම්බන්ධයෙන් ප්‍රධාන විධායක නිලධාරී, මානව සම්පත් අංශයේ ප්‍රධානී, ජාත්‍යන්තර තරග අංශ ප්‍රධානී යන ඉහල නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි. මෙතෙක් කිසිවෙකුත් එහි වගකීම භාරගෙන නොමැත.
මෙය මේ වනවිට සමාජයෙන් වසන් කිරීමට පිරිසක් උත්සහ කරන බවත් වත්මන් ක්‍රිකට් බලධාරීන් මේ සම්බන්ධයෙන් මුණිවත රකින බවත් වාර්තා වේ.
ට්‍රැවිස් ප්‍රනාන්දු මහතාට කොවිඩ්-19 ආසාධනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් පෙරේදා (03දා) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.
ශ්‍රී ලංකාවට එරෙහි තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායමේ සම්බන්ධීකරණ නිලධාරී (liaison officer) තනතුරට මීට පෙර පත් කර තිබුණේ චිත්‍රාල් මෙන්ඩිස් මහතාය. කෙසේ වෙතත් ඔහු වෙනුවට මේ වනවිට යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර්වරයෙකු පත් කර ඇතැයිද අනාවරණය වේ. කෙසේ වෙතත් වහාම ක්‍රියාත්මක වන පරිදි චිත්‍රාල් මෙන්ඩිස් මහතාව කොළඹට කැඳවීමට තීරණය කර තිබුණේ ඔහු ට්‍රැවිස් ප්‍රනාන්දු සමග සමීප සබඳතා පැවැත්වීම හේතුවෙනි.
මේ අතර මෙම මස 08 වැනිදා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංණයට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය මෙම මස 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංණයේදී පැවැත්වීමට නියමිතය.